×

ඇමසන් වාතලයට මුසු වූ පවුලිනෝගේ ආත්මය බොල්සොනාරෝට කිසිදිනෙක සමාව නොදෙනු ඇත…

පාවුලෝ පවුලානෝ ගවුජජරා ...ඔහු ඒ අතර ඉදිරියේම සිටි ජව සම්පන්න තරුණයෙකි. රණශූරයෙකි..


”මේ මිහිතලයේ සෑම බිම් අගලක්ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දේවදාර ගසක සෑම කිණිත්තක්ම , වැලිතලාවෙන් පිරීගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තර වල තිබෙන සෑම මිහිඳුම් වලාවක්ම සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ගේ අත්දැකීම් හා මතකයන් සමුදායේ පූජනීය වූ වස්තූහු වන්නෝය.”

ඒ සියැටෙල්ය… සුදු අධිරාජ්‍යයන් ගිල ගන්නට යන මහපොළොවේ නැවුම් බව තම පරපුරට අහිමි වන බව දැක දැක වේදනා බර හදවතින් ඔහු එසේ කීයේය…

එදා සියැටෙල්ට සවන් නොදුන්නෝ අද මනුෂ්‍ය සංහතියේ අවසානය සළකුණූ කර ඇත. සියැටෙල් මග ගොස් මිහිතලයේ උරුමය වෙනුවෙන් දිවි පිදූ තවත් චරිත බොහොමයකි.

පසුගියදා මුළු මහත් ලෝකයම ඇමසන් වනය වෙනුවෙන් හඩා වැටුණෝය. හිතක් පපුවක් නැති පාලකයෙකු ගේ මෝඩ අහංකාර ආත්මාර්ථ කාමී තීරණයන් හේතුවෙන් ඇමසන් වනාන්තරයෙන් වැඩි කොටසක් අද මිනිසාට අහිමි වී ඇත.

ඇමසන් උරුමය දිවි පුදා සුරැකි බ්‍රසීලයේ ගුජජරා ආදිවාසීන් ගේ ජීවිත වලට පසු ගිය මාස කිහිපය පුරා උරුම වූයේ කදුළුමය. ඒ නමුත් අප දිවි පුදා හෝ ඇමසන් උරුමය රැක ගත යුතුය යන අරමුණින් ගෝත්‍රයේ සියල්ලක්ම සිය යුතුකම ඉටුකලහ.

පාවුලෝ පවුලිනෝ ගවුජජරා …ඔහු ඒ අතර ඉදිරියේම සිටි ජව සම්පන්න තරුණයෙකි. රණශූරයෙකි..

ඇමසන් භූමියට වින කරන සියල්ලන්ගේම ප්‍රතිවිරෝධීන් අතරේ ඔහු ඉදිරියෙන්ම සිටියේය. පසු ගියදා ගුජජරා නායකයන් මාධ්‍ය වෙත දන්වා සිටියේ තමන්ගේ ශක්තිය බදු වූ මේ රණශූරයා බ්‍රසීල නීති විරෝධී දැව සොරුන් විසින් වෙඩි තබා මර දමා ඇති බවයි. ඒ ඔහුගේ නිජබිම වන ඇමසන් හී මරන්හෝ භූමියේදීය.

දැව සොරුන්ට ඒ හයිය කොහෙන්ද…?

දක්ෂිණාංශික ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ මේ වසරේ බලයට පත් වීමත් සමග ඇමසන් වනයට කණකොකා හඩන්නට පටන් ගත් බව කවුරුත් දනී. ඔහු   බලයට පත්වීමෙන් පසු ආරක්ෂිත ස්වදේශික ඉඩම් ආර්ථික සංවර්ධනය සඳහා විවෘත කරන බවට ප්‍රති‍ඥා දුන් දා සිට නීතිවිරෝධී දැව කපන්නන් සහ පතල් කම්කරුවන් විසින් ඇමසන් වෙත වැඩි වැඩියෙන් බැලුම් හෙළන්නටත් ආක්‍රමණයකරන්නටත් යොමු විය. ඒවා මධ්‍යයේ වනාන්තරය සිය නිවහන කරගනිමින් සිටි ආදිවාසීන්ට සිය ඓතිහාසික භූමිය වෙනුවෙන් සටන් කරන්නට සිදු විය. බොල්සොනාරෝ විසින් කැපූ පාර දිගේ ඇමසන් වෙත ආ සොරුන් සහ මංකොල්ලකරුවන්ගෙන් ඇමසන් බේරා ගැනීමට ගිනි අවි හා සටන් කර ඔවුහු හෙම්බත් වී සිටිති.

”බොල්සොනාරෝගේ අත් බ්‍රසීලයේ ස්වදේශිකයන්ගේ රුධිරයෙන් වැසී ඇත..” එරට ස්වදේශිකයන් 900000ක් පමණ නියෝජනය කර බ්‍රසීලයේ ස්වදේශික සංවිධානය වන ඒ පී අයි බී එසේ පවසයි.

ආදිවාසීන්ගේ ප්‍රදේශ වල ප්‍රචණ්ඩත්වය වැඩි වීම ට හේතුව වී ඇත්තේ බොල්සොනාරෝගේ වෛරී කථාවන් ය .. අපේ ජනතාවට විරුද්ධව ඔහු ගෙන ඇති පියවරයන්ගේ ප්‍රතිපලයක්ය…. ඒ පීඅයි බී එසේ පවසයි.

පාවුලෝ පවුලිනෝ ගවුජජරා

සිය රටේ ජනපතිවරයාගේ අනුදැනුමින් ඇමසන් භූමිය ගිල ගැනීමට එන නීතිවිරෝධී දැව කපන්නන් ට විරුද්ධව පාවුලෝ පවුලානෝ ගවුජජරා සිය උඵරිමයෙන් වෙහෙසුණේය. ඔහු සැබෑම රණ ශූරයෙකි. ඇමන් වෙනුවෙන් ජවිතය පූජා කළ මෙම තරුණයා ගේ සිරුර ඇමසන් වනාන්තරයේ සිය මුතුන් මිත්තන්ගේ සොහොන් අසළ  සතපවා ඇත.

දැව සොරුන් විසින් ඔහුව මරා දමණ විට ඔහුගේ වයස අවුරුදු 20කි. වරක් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් සිය ජනතාව සහ ඇමසන් වනය මුහුණ දෙමින් සිටින ඉරණය පිළිබදව ඔහු පැවසුවේ නීතිවිරෝධී කටයුතු වලින් ඇමස්න සුරැකීම අති භයානක කාර්යයක් වී ඇති බවයි. නමුත් සිය ජනතාවට භයෙන් ජීවත් වන්නට ඉඩ දිය නොහැකි බව ඔහු පැවසීය.

එය සුදු අධිරාජ්‍ය්‍යන් විසින් සිය භූමින් අත් පත් කරගන්නට උත්සහා දරන විට සියැටෙල් ගේ අදහසට සමාන එකකි.

මම විටෙක බියෙන් පසුවෙමි.. නමුත් හිස ඔසුවා ක්‍රියා කිරීමට අපට සිදුවී ඇත. අප මේ භූමිය වෙනුවෙන් සටන් කර මියැදෙන්නට සූදානමින් සිටිමු. පවුලානෝ ගවුජජරා සිය ජනතාවට ඉදිරියට එන්නැයි හඩ ගැසීය..

තමන් ආදරයෙන් සැළකූ ගහ කොළ තමන්ගෙන් උදුරාගෙන යෑම තම පවුලේ සාමාජිකයන් තමන්වෙතින් උදුරාගෙන යෑමක් බදු යැයි ඔවුහු සිතූහ..

” අපි අපේ භූමිය… එහි සිවුපාවුන් සහ අනෙකුත් ජීවින් කුරුල්ලන් සෑම දෙයක්ම අප විසින් ආරක්ෂා කළ යුතුයි.. අද මේ මිහි මඩල විනාශ වෙමින් පවතී…වානේ තරමට සවිමත් වටිනා ලී සහිත ගස් මේ වන විටත් කපා බිම දමා ඇත… අපගේ දරුවන් වෙනුවෙන් මේ වනාන්තරය අප ආරක්ෂා කළ යුතුය…

මරාදමන්නට මොහොතකට පෙර සිය ජනතාව අමතමින් පවුලානෝ ගවුජජරා සිය යුතු කම ගැන එසේ පැවසීය….

නමුත් ඔහුට ඔහුගේ යුතුකම ඉටු කරන්නට රාඣ්‍ය අනුග්‍රහය ලත් සතුරෝ ඉඩ නොදුන්හ… ඔවුන්ගේ වෙඩි උන්ඩ පවුලානෝ ගේ ශක්තියට වඩා ප්‍රභල විය …. ඇමසන් හී නිදන ඔහුගේ ආත්මය තම භූමියත් ගහකොළත් විනාශ කර ඒ මත සිය රටේ දියුණූව සොයන බොල්සොනාරෝ නම් ජනපතිවරයාට ඔහු කිසිදුක සමාව නොදෙනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි