×

ඉලිනොයිස් ප්‍රාන්තයේ රජයේ පාසල් විෂය නිර්දේශය තුළ LGBTIQ ඉතිහාසය අනිවාර්ය කිරීමට පනතක්

ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජේ.බී. ප්‍රිට්ස්කර් විසින් එම ප්‍රාන්තයේ සියළු රජයේ පාසල් විෂය නිර්දේශ තුළ LGBTIQ ප්‍රජා ඉතිහාසය ඉගැන්වීම අනිවාර්ය කිරීමට පනතක් සම්මත කරන ලදී.


ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජේ.බී. ප්‍රිට්ස්කර් විසින් එම ප්‍රාන්තයේ සියළු රජයේ පාසල් විෂය නිර්දේශ තුළ සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී (LGBTIQ) ප්‍රජා ඉතිහාසය පිළිබඳ ඉගැන්වීම අනිවාර්ය කිරීමට පනතක් සම්මත කරන ලදී.

ඒ අනුව, පනත් අංක 246 යටතේ, 2020 ජූලි මස 01 දින පටන් ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රාන්තයේ සියළු රජයේ පාසල් වල LGBTIQ ප්‍රජා ඉතිහාසය ඉගැන්වීම අනිවාර්ය වේ.

මෙම පනත සම්මත කරන ලද්දේ පසුගිය සිකුරාදා (09) දින ය.

LGBTIQ ප්‍රජාව අතීතයේ පටන් දශක ගණනාවක් මුළුල්ලේ තම සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ අතර, විවිධ කෙණහිලිකම්, වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් වලට ලක්වෙමින් හා ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ පාමින් දුශ්කර ගමනක ආ බවත්, මේ පිළිබඳ LGBTIQ හා LGBTIQ නොවන දරු පරපුරු අතර අවබෝධය ඇතිකරලීම ඉතා වැදගත් බවත් ආණ්ඩුකාර ප්‍රිට්ස්කර් පෙන්වා දෙයි. පුද්ගලයකුගේ ලිංගිකත්වය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත වෙනස්කොට සැලකීම බරපතල වරදක් බැවින්ද, සියල්ලන්ට එක හා සමානව ගරුත්වයෙන් යුතුව ජීවත් වීමේ අයිතිය ඇති බැවින්ද, සමානාත්මතාවය අගයන අනාගත පරපුරක් බිහිරකිරීමෙහි ලා එම ප්‍රජා ඉතිහාසය තම ඉතිහාස පොතට එකතු විය යුතු බව ඉලිනොයිස් ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි. 

ආණ්ඩුකාර ප්‍රිට්ස්කර් තවදුරටත් පවසා සිටියේ එමඟින් ඉතිහාසය විෂය නිර්දේශය විවිධත්වයට ගරුකරන පුළුල් විවිධත්වයක් කරා විහිදෙනු ඇති බවය.  

ඉලිනොයිස් ප්‍රාන්තය ගත් මෙම ප්‍රගතිශීලී තීන්දුව ඔස්සේ අනාගත LGBTIQ දරු පරපුරට ද ආරක්ෂාකාරී වටපිටාවක් නිර්මාණය වනු ඇති බවට එරට මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති. 

ඉලිනොයිස් ප්‍රාන්තයේ සම්මත වූ මෙම පනත හරහා විවිධ අන්තර්-ජනවාර්ගික ප්‍රජා ඉතිහාස (අප්‍රිකානු-ඇමරිකානු ඉතිහාසය වැනි) පිළිබඳ අධ්‍යයනය කිරීමද අනිවාර්ය කර ඇති බවට වාර්තා වේ.  



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි