×

වසංගතයෙන් මිය යන රෝගීන් වෙනුවෙන් – ඥාතීන්ගෙන් පහර කන වෛද්‍යවරු

ඉන්දියාවේ වෛද්‍ය සේජු කුමාර් සේනාපති බිහිසුණු ලෙස පහර කෑමට ලක්වන්නේ ඔහුගේ කෝවිඩ් රෝගියෙකු මරණයට පත් වීමත් සමග ය.


ජූනි මස මුල සතියක වූ මෙම පහර දීමෙන් තමන් මිය යාවි යැයි ඔහු සිතුවේය.

එය, තරුණ වෛද්‍යවරයෙකු වූ ඔහුගේ පළමු රැකියාවයි. ඇසෑම් ප්‍රාන්තයේ හෝජායි දිස්ත්‍රික්කයේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දෙවැනි දිනයයි. එදින උදෑසන රෝහල්ගත වූ රෝගියෙකු පරීක්ෂා කර බැලීම සඳහා ඔහු ව කැඳවිණි. එවිට ඔහු දුටුවේ රෝගියා කිසිදු දෙයකට ප්‍රතිචාර නොදක්වන බවයි. ඔහු ඒ වන විටත් මිය ගොස් සිටියේය. මේ බව රෝගියාගේ පවුලේ අයට කී විට ඔවුහු කෝපාවිෂ්ට වූහ. ඉන්පසු ළඟ තිබූ පුටු මේස ආදියෙන් දමා ගසමින්, ජනේලවල වීදුරු කුඩු කරමින් යකා නටන්නට පටන් ගත්හ.

වෛද්‍ය සේනාපති ජීවිතාරක්ෂාව පතා දිව ගියත්, ඉක්මනින්ම පවුලේ සාමාජිකයන් සමග තවත් අය එක් වූහ. ඔහු ඔවුන්ට හසු විය.

මේ සම්බන්ධයෙන් පසුව සමාජ මාධ්‍ය වෙත නිදහස් වූ වීඩියෝවකින් දැක්වුණේ පිරිස ඔහුව වටකරගෙන පයින් ගසන ආකාරයත්, ඇඳෙන් බසින්නට බැරි රෝගීන්ට මළ පහ කිරීමට ලබාදෙන බෙඩ්පෑන් එකකින් ඔහුගේ හිසට පහර දෙන අන්දමත් ය. ඉන්පසු ඔහුව එළියට ඇදගෙන ගොස් තවදුරටත් පහර දීම සිදු විය. පසුව වෛද්‍ය සේනාපති ලේ වැකුණු සිරුරෙන් යුතුව, කමිසය පවා රහිතව වේදනාවෙන් සහ බියෙන් යුතුව කෑ ගසමින් සිටියදී සොයා ගනු ලැබිණි.

‘‘මම හිතුවෙ මම මැරෙයි කියලා..‘‘ යැයි ඔහු පසුව කීය. ඔහුගේ ගෙළ තිබූ රන් මාලය, ඔරලෝසුව සහ ජංගම දුරකථනය ද පැහැර ගෙන තිබිණි.

සමාජ මාධ්‍ය වෙත නිකුත් වූ වීඩියෝව ආන්දෝලනයක් ඇති කළ නිසා ඔහු කළ පොලිස් පැමිණිල්ලට යුක්තියක් ඉටු විය. බාල වයස්කරුවන් තිදෙනෙකු ඇතුළු 36 දෙනෙකු අත්අඩංගුවට ගැනිණි.

නමුත් බොහෝ අවස්ථාවලදී එය එසේ නොවේ. බොහෝ සිදුවීම් පොලිසියට වාර්තා වන්නේ ද නැත. එවැනි සිදුවීම්වලදී ද සැකකරුවන්ට ඉක්මනින් ඇප ලැබේ. තවත් සිද්ධි ගණනාවක් උසාවියෙන් පිටතදී සමථ වේ.

මේ වසර මුලදී නවදිල්ලි අගනුවර ඇපලෝ රෝහලෙන් ද මෙවැනිම සිද්ධියක් වාර්තා විය. නමුත් ප්‍රමුඛ පුද්ගලික රෝහලක් වූ එය සිය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් නීතියේ පිහිට පැතුවේ නැත. ඇත්තෙන්ම රෝහල් පරිපාලනය මෙවැනි සිද්ධිවලට පැටලීමට අකමැති ය. එයින් අවසානයේ සිදුවන්නේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ තත්වය වැඩි වශයෙන් අවදානම් සහගත වීමයි.

පසුගිය වසරේ ඉන්දියාවේ කෝවිඩ් වසංගතය ඇරඹීමෙන් පසුව වෛද්‍යවරුන් ගණනාවක් මේ අන්දමින් පහර කෑම්වලට ලක් ව තිබේ. ඔවුන් නැවත නැවතත් කරන පැමිණිල්ලක් ඇත. ඒ, සිය පවුලේ සාමාජිකයෙක් වූ කෝවිඩ් රෝගියාට නිසි ලෙස වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබානොදුන් බව ය.

ඉන්දියාවේ වසංගතයේ සිරකරුවන් බවට පත් වූ වෛද්‍යවරුන් වැඩ වර්ජනවල නිරත වන්නේ සිය ජීවිතාරක්ෂාව වෙනුවෙන් නව නීති ඉල්ලා සිටිමිනි. වැඩිපුර කාර්ය මණ්ඩලය සහ තමන් මත පැවරෙන දැඩි පීඩනය අඩු කිරීම සඳහා යටිතල පහසුකම් ඉල්ලා සිටිමිනි.

මෙවැනි අවස්ථාවන්වලදී සිය ආරක්ෂාව වෙනුවෙන් නීති නොමැති බව ඉන්දීය වෛද්‍යවරු අවධාරණය කරති.

ඉන්දියානු වෛද්‍ය සංගමය (IMA) වෛද්‍යවරුන් 330,000 කගෙන් සමන්විත ය. ඔවුහු වෛද්‍ය සහ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ නීතිමය ආරක්ෂාව ඉල්ලා සිටිති.

නමුත් නීතියකට මෙම ප්‍රශ්නය විසඳන්නට පුළුවන්ද?

වාර්තාවල දැක්වෙන අන්දමට වසංගතය පැමිණීමට පෙර පවා, රෝගියෙකුගේ දිවි අහිමි වූ විට පවුලේ සාමාජිකයන් අතින් වෛද්‍යවරුන් පහර කෑමේ සිද්ධි ගණනාවක් තිබේ. Vidhi Centre for Legal Policy ආයතනයේ වෛද්‍යවරුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ පර්යේෂණ කරන කණ්ඩායමට අනුව මෙවැනි ප්‍රහාර සිය සමීපතමයා අහිමි වීමේ මානසික පීඩාවෙන් ප්‍රේරණය (trigger ) වූ අවස්ථාවන් ය. චිත්තවේගී ප්‍රේරණය (emotional trigger) ලෙස මෙය හැඳින්වේ. 2018 ජනවාරි සහ 2019 සැප්තැම්බර් අතර කාලය තුළ ඉන්දියානු පුවත්පත් විසින් මෙවැනි සිද්ධි 56 ක් වාර්තා කර ඇත.

හත් අවුරුද්දකට හිරේ

ඉන්දියාවේ දැන් පවතින නීති තත්වය අනුව කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට පහර දීම වෙනුවෙන් සත් අවුරුදු සිර දඬුවමක් හඳුන්වා දී ඇත. නමුත් එයින් තත්වයේ අඩුවීමක් සිදු ව ඇති බවක් නොපෙනේ.

හයිද්‍රාබාදයේ ගාන්ධි රෝහලේ වෛද්‍ය විකාස් රෙඩී පසුගිය වසරේ ජූනි මාසයේ මියගිය රෝගියෙකුගේ ඥාතීන් අතින් පහර කෑමට ලක් විය. ප්ලාස්ටික් පුටු සහ යකඩ පුටු වලින් ඔහු පහර කෑවේය. වෛද්‍ය විකාස් මේ පිළිබඳ පොලිස් පැමිණිල්ලක් කළ ද මේ දක්වා කිසිවෙකු අත්අඩංගුවට ගැනීමක් පවා කර නැත.

පර්යේෂකයන්ට අනුව ඉන්දියාවේ වෛද්‍යවරු දැඩි සත්කාර ඒකකයේ හෝ හදිසි ප්‍රතිකාර වාට්ටුවේ සිටින රෝගියෙකු වෙනත් රෝහලකට මාරු කරන අවස්ථාවලදී හෝ රෝගියා මිය යන අවස්ථාවලදී ප්‍රහාරවලට ලක් වීමේ ඉහළ අවදානමක් තිබේ. මෙම තත්වය කෝවිඩ් වසංගත සමයේදී අතිශය ඉහළ ගොස් තිබෙන්නේ චිත්තවේගී ප්‍රේරණ සහ මානසික පීඩනය උපරිම වීමේ ප්‍රතිඵලයක් ලෙස ය.

BBC

පහර කෑමට ලක් වූ වෛද්‍ය විකාස් උද්ඝෝෂණයක | BBC

කෝවිඩ් වාට්ටුවක සේවය කිරීම යුද්ධ කිරීමකි!

‘‘කෝවිඩ් වාට්ටුවක ඉන්න එක හරියට යුද්ධයක් කරනව වගේ දෙයක්..‘‘

යැයි ඉන්දියාවේ වෛද්‍යවරයෙක් කියයි. ඒ අනුව සිය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් සහ විශ්වාසය පිළිබඳ ගැටළුවක් එම වෛද්‍යවරුන්ට තිබේ. මෙම විශ්වාසය පිළිබඳ ගැටළුව මතු වන්නේ රෝහල් ක්‍රමය පිළිබඳ ඇති අවිශ්වාසනීයත්වය ද මුල් කර ගෙන ය. ඉන්දියාවේ සෞඛ්‍ය සේවයෙන් 2/3 ක් නතු වී තිබෙන්නේ පුද්ගලික අංශයට ය. මිල අධික ප්‍රතිකාර පුද්ගලික රෝහල්වලදී ලබන අවස්ථාවලදී පවා රෝගීහු මිය යති. වෛද්‍ය නොසැලකිල්ල පිළිබඳ මාධ්‍යවල නිතර වාර්තා පළ වේ. නමුත් ඒවා නිරන්තරයෙන්ම වෛද්‍යවරුන්ගේ අරගල පිළිබඳ කතාන්දරයන්ගෙන් වැසී යන්නේ ජනතාවගේ සැකමුසු බව වැඩි කරමිනි.

රෝගීන් ලක්ෂයකට අඩුම වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉන්දියාවේ

ඉන්දියාවේ පවතින්නේ ලෝකයේ නරකම වෛද්‍ය-රෝගී අනුපාතිකයයි. 2018 වසරේ ඉන්දියාවේ සිටියේ සෑම රෝගීන් ලක්ෂයකටම විශේෂඥ වෛද්‍යවරුන් 90 දෙනෙකු පමණි. (ලෝක බැංකු වාර්තා) මෙය චීනය (200), ඇමරිකා එක්සත් ජනපදය (260) හෝ රුසියාව (400)ට වඩා අඩු අගයකි.

ශ්‍රී ලංකාවේදී නම් මෙය රෝගීන් දහසකට විශේෂඥ වෛද්‍යවරුන් 1.004 කි. එනම් රෝගීන් ලක්ෂයකට විශේෂඥ වෛද්‍යවරුන් 100.4 කි. ඒ අනුව ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින්නේ විශාල පරතරයකින් නොවේ. (මූලාශ්‍රය – ලෝක බැංකු දත්ත)

පසුගියදා අපට සමාජ මාධ්‍යවලින් දැකගත හැකි වූයේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ටෙලි නිළියක්, පුද්ගලික රෝහලකට ඇතුළත් කළ සිය මව කෝවිඩ් හේතුවෙන් මිය යාම ගැන පළ කළ වීඩියෝවක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යයක කරන ප්‍රකාශයකි. එමගින් ඇය මවගේ මරණය සම්බන්ධයෙන් රෝහලට දෝෂාරෝපණය කරන්නේ, අවම වශයෙන් මව සමීපයට පැමිණ කතා කිරීමට පවා සෞඛ්‍ය සේවකයන් කරදර නොවූ බව පවසමිනි. ඔවුන් ඇගේ මව සමග කතා කර තිබෙන්නේ මයික්‍රෆෝන භාවිතා කරමින් පිටත සිට ය.

කෙසේ වෙතත්, සිය පවුලේ සමීපතමයෙකු මිය ගිය විට ලංකාවේ ජනතාව එම දුක දරාගන්නා ආකාරය හෝ ආවේගය පිට කරන ආකාරය සහ ඉන්දියානුවන්ගේ හැසිරීම අතර පැහැදිලි වෙනසක් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි