×

ඉන්දියාවේ ලොකුම වංචාකාරයා – නිරව් මෝදි

පවුම් බිලියන 1.5ක වංචාවක් සඳහා ඉන්දියාවට මේ කෝටිපති දියමන්ති වෙළෙන්දාව වහාම උවමනා වී තිබේ. දැන් ඔහු ඉන්දියාවට භාරදීමට සූදානම් ය.


අද (10) දක්වා අති සුපිරි ජීවිතයක් ගත කරමින් ලන්ඩනයේ නිදැල්ලේ සිටි ඔහු ට මේ වන විට වැඩ වැරදී තිබේ. CBI හෙවත් මධ්‍යම විමර්ශන බියුරෝව මේ වන විට ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය සහ, එක්සත් රාජධානි බලධාරීන් සමග එක් වී ඔහුව වහාම අත්අඩංගුවට ගෙන ඉන්දියාවට උදර්පණය කිරීමට සූදානමින් සිටියි.

ඉන්ටපෝල් සහාය ලබාගැනීමට තීරණය වී තිබෙන්නේ ඔහු සිය අනන්‍යතාවය මාරුකරගෙන වෙනත් රටකට පළා යාමට ඉඩ ඇති නිසා ය. ඉන්දියානු බලධාරීන් මීට පෙර පවසා තිබුණේ එක්සත් රාජධානියේ නිදහස් ජීවිතයක් ගත කරන නිරව් මෝදි, නිතර නිතර යුරෝපා රටවලට ගමන් කරන බව ය. පසුගිය වසරේ ඔහු සංචාරය කළ රටවලට ඇමරිකාව, හොංකොං, ප්‍රංශය සහ බෙල්ජියම අයත් ය. 2018 ජූලි මාසයේදී ඔහුට එරෙහිව රතු වරෙන්තු නිකුත් කරනු ලැබීය.

ඔහුට එරෙහිව නගා තිබෙන ප්‍රධානම චෝදනා ත්‍රිත්වය වන්නේ වංචා කිරීම, සාපරාධී කුමන්ත්‍රණ සහ මුදල් විශුද්ධිකරණයයි.

මේ ඡායාරූපයේ නිරව් මෝදි සිටින්නේ පවුම් 10,000 ක් වටිනා ඔස්ට්‍රිච් හයිඩ් ජැකට්ටුවක් හැඳගෙන ය. එය ලංකාවේ මුදලින් දළ වශයෙන් රුපියල් විසිතුන් ලක්ෂ පණස් දහසක් පමණ වේ.

ඔහු පසුගියදා පවුම් මිලියන 8 ක මහල් නිවාසයක් ද මිලදී ගත්තේය.

ඔහු පංජාබ් නැෂනල් බැංකුවට වංචා කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 13,578 කි. එනම් ඩොලර් බිලියන 2 කි. ඔහුගේ මාමා කෙනෙක් සමග කළ මේ වංචාව, ඉන්දීය බැංකු ඉතිහාසයේ සිදුවූ ලොකුම හොරකමයි.

2018 ඔක්තෝබරයේදී වාර්තා වූයේ ලොස්ඇන්ජලීස් හි ව්‍යාපාරිකයෙකු වන පෝල් අල්ෆොන්සෝ විසින් මෝදි සහ ඔහුගේ දියමන්ති සමාගම් දෙකකට එරෙහිව ඇමරිකානු ඩොලර් බිලියන 4.2 ක නඩුවක් පවරා ඇති බවයි. ඒ, ඇමරිකාවේදී ය. එහිදී සිදුව තිබෙන්නේ නිරව් මෝදි විසින් දියමන්ති එබ්බවූ බව කියන ව්‍යාජ මුදු දෙකක් අල්ෆොන්සෝට විකුණා තිබීමයි. එම මුදු දෙකෙහි වටිනාකම ඩොලර් ලක්ෂ 2 කි.

නිරව් මෝදි, පවුල් සමාගමක් ඇති අයෙකි. විටෙක ඔහු සිය වංචාවන් වලට මාමාවරුන් හවුල් කර ගනියි. තවත් විටෙක සහෝදරයන් හවුල් කර ගනියි. අවසානයේ 2018 අගෝස්තු මාසයේදී නිරව් මෝදිගේ බාල සහෝදරයා වන නීෂල් දීපක් මෝදි සහ ඔහුගේ කළමනාකාරවරයා ට එරෙහිව ද මෙවැනිම අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

“Nirav Modi Global Diamond Jewellery House” නමැති දියමන්ති සමාගම නිරව් මෝදි පිහිටුවන්නේ 2010 වසරේදී ය. ලෝ ප්‍රකට ක්‍රිස්ටීස් සහ සදබීස් වෙන්දේසි සමාගම්වල පැවැත්වූ වෙන්දේසි සඳහා දියමන්ති ඉදිරිපත් කළ ඉන්දියාවේ පළමු දියමන්ති වෙළෙන්දා ද ඔහු වේ.

මුලින්ම දියමන්ති කැටයම් කපන්නෙකු ලෙස ජීවිතය ඇරඹූ මේ 47 හැවිරිදි නිරව් මෝදි අද වන විට දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 300 ක පමණ වත්කමක් ඇති බිලියනපතියෙකි. එසේම ඔවුන් පරම්පරා ගණනක් තිස්සේ ඉන්දියාවේ දියමන්ති ව්‍යාපාරයේ යෙදුණු අය ය. නමුත් නිරව් මෝදි වැනි වංචාකාර පුතෙක් මේ මෝදි පරම්පරාවටම බිහි වී නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි