මුළු කැරිබියන් මුහුදේම දැකිය හැකි සෑම වර්ගයකම පාහේ මසුන් ජීවත්වන වෙන් වෙන් කොරල්පර, ඉන්දුනීසියාවේ දැකිය හැකිය. මෙහි වෙසෙන කොරල් ජීවී විශේෂ ගණනද, ලොවේ අන් සෑම තැනකටම වඩා දස ගුණයකින් වැඩි ය. මේ ජලතීරයන් හි මෙකී අති සුන්දර කොරල්පර පොහොසත් ව වැඩෙනුයේ, ක්ෂුද්‍ර පැළෑටි (මයික්‍රොස්කෝපික් ප්ලාන්ට්ස්) සහ ඇල්ගී සමගිනි. මේ වර්ග දෙකම පොලිප්ස් හෙවත් කොරල් ජීවීන්ගේ පටක අභ්‍යන්තරයේ වර්ධනය වන දේවල් බව දැන සිටින්නේ අල්පයක් දෙනා පමණි.
කොරල් ජීවීන් වර්ධනය වන අයුරු දැකීම චමත්කාර දසුනකි. උන් අංකුර සහිත ය. කෙඳිද සහිත ය. හරියට, දළු දමන කුඩා ගස් මෙනි. එසේත් නැති නම් පෙති දිග හරින මල් මෙනි. උන් එසේ වැඩෙන්නට පෝෂණය ලබාගන්නේ තමා අසලින් පාවී යන කෑම අංශු ග්‍රහණය කර ගැනීමෙනි.
මේ අතර රාත්‍රියේදී කොරල් පර පරිසර පද්ධතියේ මැවෙන නිශාචර චමත්කාරය ද අපූරු ය. හිරු එළිය නැති හෙයින් ඇල්ගී අක්‍රිය වෙයි. නමුත් එවිට පොලිප්ස් ජීවීහු, වැඩි වැඩියෙන් සිය ග්‍රාහිකා විදහා ගනිති. එවිට බලා සිටියදී කොරල් පරය ස්‍රාවය වෙයි. ඇත්තෙන්ම කොරල්පර යනු මෙම කොරල් ජීවීන්ගේ කැල්සිනීයභූත පිට සැකිල්ලයි. ග්‍රාහිකා වටා කැල්සියම් කාබනේට් අංශූ තැන්පත් වීමෙනි, එය තැනෙනුයේ. ගල් මල් කියා කියන්නේ ද කොරල්පර වලට ම ය. ගල්මල්වල ඉතා ළඟින් ළඟින් කුඩා සිදුරු පිහිටා තිබෙන ආකාරය ඔබ දැක තිබෙනවාද? ඒ එක් එක් සිදුරු සලකුණකින් සංකේතවත් වන්නේ එක් කොරල් ජීවියෙක් හෙවත් එක් පොලිප්ස් ජීවියෙකි.
දහවලට ඇල්ගීවලට ඉඩ දීමත්, රාත්‍රියට පොලිප්ස්ලාට ඉඩ දීමත් මගින් මෙසේ ඇති කර ගන්නා සහජීවන බැඳීම, මේ ජීවීන් දෙපිරිසටම වාසිදායක ය. මුඩු මුහුද, සරුසාර මුහුදු කෙම්බිමක් බවට පරිවර්තනය වනුයේ මේ නිසා ය.
මෙසේ තැනෙන මුහුදු උයන්වල හැමදෙයක්ම ඉතා කුඩා ය. යමක් හරි හැටි දැකීම සඳහා සමීප දසුනක් අත්‍යවශ්‍ය වේ. නමුත් මේ සමීප දසුන අති සුන්දර ය. අති මනරම් ය.
ඉන්දුනීසියාව අසබඩ මුහුදේදී ඒ අසිරිය ප්‍රගුණනය වෙයි. එයට විශේෂ හේතුවක් තිබේ. ඉන්දුනීසියනු කොරල්පර පිහිටා තිබෙන්නේ යෝධ හරස්පාරක ය. එනම්, ඉන්දියන් සාගරය සහ ශාන්තිකර සාගරය හෙවත් පැසිෆික් සාගරය එකිනෙක හමුවන ස්ථානයේ ය.
විජිනිපතක් සේ විහිදෙන මේ මුහුදු පත්ලේ තැනෙන කොරල්පරවල මතුපිටම සිටිනුයේ බැලූ බැල්මට කොරල්පර මෙන් පෙනෙන, නමුත් කොරල් ජීවීන් නොවන ජීවීන් වර්ග දෙකකි. එක් වර්ගයක් නම්, පිග්මි වර්ගයේ මුහුදු අශ්වයන් ය. උහු ලොව කුඩාම මුහුදු අශ්වයෝ වෙති. උන් උසින් සෙන්ටිමීටර දෙකකටත් අඩු ය. සුදුපැහැ දේහය, අශ්වාකාරය තනන අංකුරයෙන් වෙන් කර හඳුනාගත හැක්කේ රතු පැහැය නිසා ය. නමුත් මීට වඩා වෙනස්ව, විවිධාකාර වර්ණ දරන මුුහුදු අශ්වයෝ ද මේ සයුරු පත්ලේ නොමදව වෙසෙති. පහත දැක්වෙන කහ පැහැති හාදයා එවැනි අයෙකි.
පිරිමි මුහුදු අශ්වයන් කලහකාරී ය. නිතරම සිය ඉසව් වෙන්කර තබාගැනීම සඳහා ආරාවුල්වල යෙදෙති. උන් එකිනෙකා සමග සැබවින්ම රණ්ඩු දබර කර ගනිති. ගුටි බැට ඇන ගනිති. එම ගුටි ඇන ගන්නා අයුරු ද අසිරිමත් ය. උන් කරන්නේ සිය හිසෙන් අනෙකා ට පහර දීමයි.
මේ අතර, තද රතු පැහැති අකුණු සැරයක් වැනි ජීවියෙක් ද කොරල්පරවල වෙසෙයි. ඌ අකුණු සැරයක්ද? ඇත්තෙන්ම නැත. එය මට්ටියෙකුගේ (ෆයිල් කාල්ම්) ප්‍රදර්ශනාත්මක හැසිරීමකි. රතු පැහති ග්‍රාහිකා පිරිවරාගත් මෙම කහ පැහැති මට්ටීන්ගේ දැකිය හැකි විද්‍යුත් පුංජ පිටවීම, උන්ගේ මාංශමය ප්‍රාවරණය (මෙන්ටල්) තුළ සිදුවන්නකි. එය තමන්ව කඩ කඩ කොට කෑමට බලා සිටිනා මත්ස්‍යයන්ගෙන් බේරීම සඳහා වන අපූරු අනතුරු ඇඟවීමේ පද්ධතියක් ලෙස ට සැලකෙයි. නමුත් මේ විද්‍යුත් හැසිරීම හරියට ම කුමක් පිණිසදැයි කවුරුන් දනිත් ද…?
කවරයේ ඡායාරූපය – Pinterest