×

“අල්-කයිඩා සංවිධානයේ අලුත් නිවහන ඉරානයයි,” පොම්පියෝ ඇමරිකානු – ඉරාන ගිනි පුළිඟු තවත් අවුලයි 

පොම්පියෝ ගේ මෙම ප්‍රකාශය එක්සත් ජනපදය හා ඉරානය අතර පවතින ගැටුම්කාරී වාතාවරණය තවත් උත්සන්න කොට නතර වන්නේ නම් එකකි. එහෙත් ඔහුගේ මෙම ප්‍රකාශය හරහා එළඹෙන ජනවාරි 20 වන දින ට්‍රම්ප් පාලනාධිකාරිය ඉවත් ව ගිය පසු ජෝ බයිඩන් ප්‍රමුඛ නව රජයට විදේශ සබඳතා ආශ්‍රිතව අභියෝග ගණනාවක් ඉතිරි කර යනු ඇති.


එක්සත් ජනපදයේ වත්මන් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඉකුත් අඟහරුවාදා (12) දින සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හමුවේ විදෙස් මාධ්‍ය කුතුහලය ඇවිසී තිබේ.

ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ඉරානය අල්-කයිඩා සංවිධානයේ “අලුත් නිවහන” බවයි.

අල්-කයිඩා සංවිධානයේ නායකත්වය ටෙහෙරානයේ මධ්‍යගත කිරීමට කටයුතු කර ඇති බවටත්, එහි නායක ආයිමන් අල්-සවාහිරි ගේ නියෝජිතයින් එහි වසන බවත් හෙතෙම පවසා තිබේ.

කෙසේවෙතත් මෙම ප්‍රකාශය තුළ ඒ බව ඔප්පු කර පෙන්වීමට ඔහු කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොතිබීම ද විශේෂත්වයකි.

පොම්පියෝ ගේ ප්‍රකාශය තුළින් වැඩිදුරටත් දැන්වූයේ ටෙහෙරානය සහ අල්-කයිඩා සංවිධානය අතර සබඳතා 2015 සිට බොහෝ සෙයින් ශක්තිමත් වී ඇති බවයි.

ඔහු මේ ප්‍රකාශ කරන්නේ ඇමරිකාවේ බැරක් ඔබාමා පාලන සමය තුළ එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය හා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ඉරානය සමඟ එළඹීමට නියමිතව තිබූ ඒකාබද්ධ න්‍යෂ්ඨික ගිවිසුම (JCPOA) කෙටුම්පත් කිරීම අවසන් කළ යුගය පිළිබඳව ය.

ඉකුත් අඟහරුවාදා දින වොෂිංටනයේ දී පොම්පියෝ සිදුකළ මේ ප්‍රකාශය ඉරානය විසින් තරයේ බැහැර කර තිබේ.

ඉරානය සහ අල්-කයිඩා සංවිධානය එකිනෙක හා පවත්වන්නේ සතුරු සබඳතාවක් බවට කලාපයේ ප්‍රසිද්ධ ය.

කෙසේ වෙතත්, ඉරාන භූමිය තුළ අල්-කයිඩා භට සිටි බවට දැක්වෙන විදෙස් මාධ්‍ය වාර්තා ද පවතී.

පොම්පියෝ සිය ප්‍රකාශය තුළ මෙසේ ද සඳහන් කර තිබේ.

“ඉරානය යනු අනිවාර්යයෙන් නව ඇෆ්ගනිස්තානය බව මා ප්‍රකාශ කරන්න කැමතියි – එය අල්-කයිඩාවේ ප්‍රධාන භූගෝලීය කේන්ද්‍රයයි. එහෙත් තත්ත්වය ඊටත් වඩා බරපතලයි.

ඉස්සර අල්-කයිඩාව ඇෆ්ගනිස්තානයේ කඳු අතර සැඟවුණා වගේ නෙවෙයි.. දැන් අල්-කයිඩාව ඉරාන රජයේ ආරක්ෂාව මධ්‍යයේ ක්‍රියාත්මක වනවා.” 

පොම්පියෝ ගේ මෙම ප්‍රකාශය එක්සත් ජනපදය හා ඉරානය අතර පවතින ගැටුම්කාරී වාතාවරණය තවත් උත්සන්න කොට නතර වන්නේ නම් එකකි.

එහෙත් ඔහුගේ මෙම ප්‍රකාශය හරහා එළඹෙන ජනවාරි 20 වන දින ට්‍රම්ප් පාලනාධිකාරිය ඉවත් ව ගිය පසු ජෝ බයිඩන් ප්‍රමුඛ නව රජයට විදේශ සබඳතා ආශ්‍රිතව අභියෝග ගණනාවක් ඉතිරි කර යනු ඇති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි