×

න්‍යෂ්ඨික අවි ගැන ඇමරිකානු – ඉරාන සාකච්ඡා අසාර්ථකයි?

ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ දෙරට අතර සාකච්ඡා අසාර්ථක වූ මුත් ඉදිරියටත් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවයි.


2015 දී ඉරානය, යුරෝපා රටවල් ඇතුළු ලෝක බලවතුන් සමඟ එළඹි න්‍යෂ්ඨික අවි භාවිතයට අදාළ ගිවිසුම (Joint Comprehensive Plan of Action) උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉරානයට විවිධ අවස්ථාවල චෝදනා එල්ල වූ අතර, විවිධ අවස්ථාවල න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම, එක්සත් ජාතීන්ගේ මුර ඒකක ඉරානයෙන් ඉවත් කිරීම ආදී එම ගිවිසුම අභිබවා යන අන්දමේ සිදුවීම් කිහිපයක් ම පසුගිය කාලය පුරාවට වාර්තා වී තිබිණි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සෘජු නොවන සාකච්ඡා පැවැත්වීමට ඉරානය එකඟ වූ අතර, එම සාකච්ඡා සාර්ථක වී නැති බවයි දැන් වාර්තා වන්නේ.

යුරෝපා සංගමය ඊයේ (29) දින නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, 2015 න්‍යෂ්ඨික ගිවිසුමට අදාළව මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමට ඉරානය සහ එක්සත් ජනපදය අතර පැවැත්වූ සාකච්ඡා අවසන්ව ඇති බවත්, එම සාකච්ඡා වල ප්‍රගතියක් දක්නට නොලැබුනු බවත් ය.

කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ න්‍යෂ්ඨික අවි භාවිතය ඉහළ නැංවීම වළක්වාලීම සඳහා මෙම සාකච්ඡා වැදගත් බවත්, ඒ වෙනුවෙන් සුභවාදී ප්‍රතිචාරයක් ලබා ගැනීමට යුරෝපා සංගමය දිගටම කටයුතු කරන බවත්, යුරෝපා සංගමයේ නියෝජිත සහ මෙම සාකච්ඡා වටයේ සම්බන්ධීකාරක එන්රික් මෝරා අවධාරණය කළේය.

මේ අතර ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ දෙරට අතර සාකච්ඡා අසාර්ථක වූ මුත් ඉදිරියටත් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවයි.

මෙම ඉරාන – ඇමරිකානු සෘජු නොවන සාකච්ඡා කටාර්හි දී පැවැත්විණි.

මෙසේ ඉරානය Joint Comprehensive Plan of Action හෙවත් න්‍යෂ්ඨික අවි සම්බන්ධ JCPOA ගිවිසුම උල්ලංඝනය කිරීමට හේතුව වී තිබුණේ, 2018 වර්ෂයේ දී එක්සත් ජනපදයේ ජනාධිපති වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාව එම ගිවිසුමෙන් ඉවත් කර ගෙන ඉරානවට දැඩි සම්බාධක පැනවීමට කටයුතු කිරීමට ප්‍රතිචාර වශයෙනි.

මෙමඟින් කලාපීය අස්ථාවරභාවයක් පැනනැඟීමේ අවදානමක් මතුවූ අතර, එතැන් පටන් මාස ගණනාවක් පුරාවට ඉරානය සහ ලෝක බලවතුන් අතර මීට අදාළව සාකච්ඡා පැවැත්වීම සිදුවිය.

මාස 11 ක පමණ සාකච්ඡා වලින් අනතුරුව ඉරානය තරයේ අවධාරණය කර සිටියේ JCPOA ගිවිසුමට අවනත වීමට නම්, එක්සත් ජනපදය ඔවුන්ගේ විදේශ ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් (Foreign Terrorist Organization List – FTO) ඉරානයේ Islamic Revolutionary Guards Corps හෙවත් IRGC සංවිධානය ඉවත් කළ යුතු බවයි.

JCPOA යනු 2015 වර්ෂයේදී වියෙනාහි දී ඉරානය යුරෝපා සංගමය ඇතුළු ලෝක බලවතුන් සමඟ එළඹුනු න්‍යෂ්ඨික අවි භාවිතා කිරීම පාලනය කිරීමට අදාළ ගිවිසුමකි.

ඡායාරූප: රොයිටර්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි