×

ඉරාන ආරක්ෂක අංශ පාසල් ළමුන් අත්අඩංගුවට ගනියි.

මේ වන තෙක් ඉරානයේ තත්වය සමනයව නොමැති අතර ජීවිතයේ, නිදහසේ, සමානාත්මතාවයේ ගිනිදැල් බුර බුරා නැඟෙමින් ඇත.


පසුගියදා ඉරානයේ සදාචාර පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය 22 හැවිරිදි මහ්සා අමීනි වෙනුවෙන් වීදි බට සුවහසක් ඉරාණ කාන්තාවන්, පාසල් ළමුන්, අනෙකුත් තරුණ පාර්ශව කරුවන් මේ ගෙවන්නේ අරගලයේ සිවුවන සතියයි.


මේ වන විට මෙම විරෝධතාවයන් ආණ්ඩුවට බලවත් පහරක්ව ඇති අතර උත්තරීතර නායක අලි කමේනි, රාජ්‍ය නිලධාරීන් හා එක්ව විවිධ මිලීටරි ක්‍රම හරහා මෙම තත්වය පාලනය කිරීමට සැරසෙන බවට වාර්තා නිකුත් වේ.

ඉරිදා(09) අලුයම වන විටත් ඉරාන නගර පුරා සියගණනක් උසස් පාසල් දැරියන් සහ විශ්ව විද්‍යාල සිසුන් කඳුළු ගෑස්, පොලු මුගුරු සහ බොහෝ අවස්ථාවල ආරක්ෂක හමුදා විසින් සජීවී පතොරම් වලට පවා බිය නොවී ඉදිරියට එනු දක්නට ලැබිණි. බලධාරීන් ඊයේ (09) දිනය වන විට ඉරාන කුර්දිස්තානයේ සියලුම පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන වසා දැමීමට කටයුතු කළ අතරම බලපත්‍ර තහඩු නොමැති වෑන් රථවලින් පැමිණි ආරක්ෂක හමුදා විසින් ඉරිදා දින ඉරාන පාසල් පරිශ්‍ර තුළට කඩා වැදී පාසල් ළමුන් අත්අඩංගුවට ගෙන ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් කිසිදු නිල තොරතුරක් මෙතෙක් අනාවරණයව නොමැත.

කුර්දි මානව හිමිකම් කන්ඩායමක් වන Hengaw කියා සිටියේ සෙනසුරාදා විරෝධතාකරුවන් දෙදෙනෙකු මරා දැමීමත් සමඟ Sanandaj සහ Saqqez හි විරෝධතාකරුවන්ට ආරක්ෂක හමුදා වෙඩි තැබූ බවයි. එහිදී බාලවයස්කරුවන් 18 දෙනෙකු ඝාතනය කර ඇති බව ඔවුන් තහවුරු කරන ලදි.

ඉරානයේ ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකාව කෙටි කලකට හැක් කරන ලද අතර අඛණ්ඩ විරෝධතාවලට සහාය දැක්වීම සඳහා පින්තූර සහ පණිවිඩ ඒ මඟින් විකාශනය කරන ලදි. මෙලෙස හැක් කිරීමේ‍ වගකීම හැක්ටිවිස්ට් කණ්ඩායම වන Edalat-e Ali විසින් භාර ගෙන ඇති අතර ඔවුන් අප සමඟ එක්ව නැගිටින්න යන පණිවුඩය දිගින් දිගටම ප්‍රචාරය කරන්නට විය.


රජය විසින් විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා අවස්ථා කිහිපයකදී අන්තර්ජාල අවහිර කිරීම් කරනු ලැබූ අතර මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් චෝදනා කර තිබුනේ මේත් සමඟ ව්‍යවසායක විකුණුම් 40% ත් 70% ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බවයි.

මේ වන තෙක් ඉරානයේ තත්වය සමනයව නොමැති අතර ජීවිතයේ, නිදහසේ, සමානාත්මතාවයේ ගිනිදැල් බුර බුරා නැඟෙමින් ඇත. මේ තත්වය තුළ ආණ්ඩුව තැතිගෙන ඇති බව නම් පැහැදිලිය.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි : https://outboundtoday.com/iran-school-girls-remove-hijab/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි