වයස අවුරුදු 5 ක් වන ගේබ්‍රියෙලා රැට්ක්ලිෆ් එක්සත් රාජධානියට පැමිණි වහා, එතෙක් වීඩියෝවලින් පමණක් මතකයේ රඳවාගෙන සිටි පිය තුරුලට සොම්නසින් පැන්නාය.
පුංචි දියණී මව් සමග ඉරානය බලා ගියේ ඇගේ සුන්දර මව – නසානින් සහ්රි ඉරානයේ ඉපිද තිබූ නිසා ය. නසානින්ගේ මිත්තණිය හා සීයා ද ටෙහෙරාන් වැසියන් වූ නිසා ය. ඒ, 2016 අප්‍රේල් මාසයේ ය.
නමුත් ඉරාන බලධාරීන්, විජාතිකයෙකු සමග විවාපත් වූ සුරූපී නසානින් දෙස බැලුවේ හැතිරියක ලෙස ය. ඇයව වහාම ඔත්තුකාරියක ලෙස හංවඩු ගසා සිරගත කෙරිණි. ඒ සිරදඬුවම පස් අවුරුද්දකට ය.
පුංචි දියණියට මැදපෙරදිග වැලි කතරේ තනි වෙන්නට සිදුවුණේ ඒ අනුව ය. විටෙක ඇය සිය සීයා සහ මිත්තණිය සමග මව් බැලීමට, අපකීර්තිමත් එවින් බන්ධනාගාරය (Evin Prison) වෙත යයි. ඇඬු කඳුළින්ම ආපසු එයි. ගත කළේ කෙසේදැයි නොදන්නා, දුක් කඳුළෙන් ගිනියම් වූ දින 1300 ක් ඇය ඒ අයුරින් ගත කළාය. දැන් ඇය ළඟ මව ද නැත. පියා ද නැත.
ලොව පුරා විසිරී සිටින මානව හිමිකම් ක්‍රියාධාරීන්, අන්තර්ජාල ක්‍රියාකාරීන් මෙන්ම මානව හිමිකම් සංවිධාන නොවේ නම් ඇයට ඉරානයේ සිට එංගලන්තය වෙත තිබෙන, යොදුන් ලක්ෂ ගණනක් සේ පෙනුණු මහා පරතරය පියවා, පියඹා එන්නට ලැබෙන්නේ නැත. ඇම්නේස්ටි ඉන්ටනැෂනල් වැනි මානව හිමිකම් සංවිධාන ඇයව ආපසු ගෙදර ගෙන ඒම සඳහා අන්තර්ජාල පෙත්සම් අත්සන් කිරීම ඇතුළු මහා පරිමාණ වැඩපිළිවෙළක් දියත් කර තිබිණි.
අවසානයේ පුංචි ගේබ්‍රියෙලා, රිචඩ් රැට්ක්ලිෆ්ගේ තුරුලට එන්නට වරම් ලැබුවේ ඒ අනුව ය.
නමුත් සටන තවම අවසන් නැත. ඉරානයට ගිය විට ඇයට පියාගේ දසුන සහ ආදරය අහිමි විය. ආපසු එංගලන්තය බලා ආ විට ඇයට දැන් මවගේ දසුන සහ ආදරය අහිමි වී තිබේ. මීළඟ පියවර විය යුත්තේ පුංචි සුරංගනාවියගේ මව නිදහස් කර ගෙන ඇයට සැමියාගේ රටට එන්නට අවසර ලබාදීමයි.
ඉරානය පමණක් නොව ලෝකයේ බොහෝ රටවල්, පැහැදිලිවම, අහිංසක ජීවිතවලින් තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ‘ඇරියස්‘ කවර් කර ගැනීම නතර කළ යුතුය. විශේෂයෙන්ම ඉරානය වැනි රටවල් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්න වෙනුවෙන් මෙවැනි අහිංසක ජීවිත, ප්‍රාණ ඇපයට ගැනීම (“hostage diplomacy”) වහාම නතර කළ යුතුය.
ලොකු මිනිසුන්ගේ ලොකු ප්‍රශ්න ගැන හාංකවිසියක්වත් නොදන්නා පුංචි මල් කැකුළු, නොකළ වරදවලට විඳවීම නතර වන්නේ එදිනට ය.