×

ලෙබනනයේ අඳුරු වළා මැද ඉරානයෙන් හිරු එළියක්!

ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ ඉරාන රජය මෙන්ම ඉරානයේ පෞද්ගලික සමාගම් ලෙබනනයට උපකාර කිරීමට සූදානමින් සිටින බවයි.


ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් සරීෆ් මහතා අද (14) දින ලෙබනනයේ බීරූට් නගරයේ දී පවසා සිටියේ ලෙබනනයේ අනාගතය තීරණය කළ හැකි එකම පාර්ශවය වන්නේ ලෙබනන වැසියන් බවයි.

අනාගත ලෙබනන රජය කුමක් විය යුතුද යන්න තීරණය කිරීම ලෙබනන ජනතාවට පැවරුණු වගකීමක් බව හෙතෙම අවධාරණය කළේය.

ලෙබනනයේ බීරූට් නගරයේ පසුගිය හටගත් දරුණු පිපිරීම තුළින් සිදුවූ විනාශය හමුවේ දරුණු ආර්ථික කඩා වැටීමක් හට ගෙන තිබිණි.

මෙමඟින් ලෙබනනයේ දූෂිත රජය පිළිබඳ ජනතාව තුළ පැවති අප්‍රසාදය තව තවත් තීව්‍ර කිරීමට සමත් විය.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඉරාන රජය මෙන්ම ඉරානයේ පෞද්ගලික සමාගම් ලෙබනනයට උපකාර කිරීමට සූදානමින් සිටින බවයි.

ඒ අනුව, බීරූට් නගරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ විදුලි බල ප්‍රතිසංස්කරණ සඳහා සහාය පළ කිරීමට ඉරානය සූදානමින් සිටින බවට හෙතෙම පැවසීය.

මීට ඉහත දී ලෙබනන අග්‍රාමාත්‍ය හසන් දියාබ් බීරූට් නගරයේ සිදුවූ පිපිරුමෙන් පසු තම ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කොට තිබිණි.

බීරූට් වරායේ ඇමෝනියම් නයිට්‍රේට් බහාලූ ටැංකි පිපිරීම මඟින් පුද්ගලයින් 130 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය.

එමෙන්ම, 3000 කට අධික පිරිසක් තුවාල ලැබීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි