×

සංක්‍රමණිකයෙකු නොවූ කිසිවෙකු මේ මිහිපිට නැත!

සෑම මිනිස් ජනගහනයක්ම පාහේ යම් මොහොතක සංක්‍රමණිකයන් බවට පත් ව ඇත.


මිනිසුන් ඔවුන්ගේ සම්භවය සිදුවූ ආාකරය සොයාගැනීමට ඇල්මක් දක්වයි. උත්පත්ති කතා, සංස්කෘතීන්, ආගම්, ජනවාර්ගික හා ජාතිකත්වයන් හරහා දක්නට ලැබෙන සියල්ලම මෙහිදී වැදගත් වේ. මෙම කතාන්දර අපට කියන්නේ මිනිසුන් පැමිණෙන්නේ කොහෙන්ද, ඔවුන් ගැළපෙන්නේ කෙසේද සහ සෑම කෙනෙකුම අවසානයේ එක්ව සිටීමට ගැළපී ඇත්තේ කෙසේද යන්නයි.

මිනිස් ජානවල පරිණාමයේ කතාව ද මේ කතා අතරින් එකකි. එය මිනිස් DNA ඇති ඕනෑම කෙනෙකුගේ ද කතාන්දරයයි.

පැරණිම මිනිස් DNA, නූතන මිනිස් DNA යනාදියේ සාම්පල ලබාගෙන ඒවා විශ්ලේෂණය කළ හැකි ක්‍රම වැඩිදියුණු කරන විට එයින් වැඩි වැඩියෙන් හෙළිදරව් වෙමින් තිබෙන්නේ පුරාතන මානවයන් සංචරණයේ යෙදුණු බවයි. ඔවුන් එක් තැනක සිට තවත් තැනකට සංක්‍රමණයේ යෙදුණු ආකාරයයි. අවසානයේ ලොව පුරාම ගමන් කළ ආකාරයයි. ඉන්පසු හැම බිම් අඟලකටම අයිතිවාසිකම් කියන්නට පටන් ගත් ආකාරයයි.

ඉතින් ඒ ආකාරයෙන් අවුරුදු දහස් ගණනක් තිස්සේ නිරන්තරයෙන් සංක්‍රමණය වීමෙන් පසුව, හෝමෝ සේපියන්ස් පරිණාමය වූවා යැයි සිතන ස්ථානයෙන් කිසි විටෙකත් පිටව නොගිය අය සිටීද? එනම්, හෝමෝ සේපියන්ස් බවට පත් වීමෙන් පසුව එක තැනම රැඳුණු කිසිවෙක් මේ මිහිමත සිටියිද?

වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, සංක්‍රමණිකයෙකු බවට පත් නොවූ අයෙකු කිසිදා මිහිමත සිටියේද?

“විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බලන විට, සංක්‍රමණිකයන් නොවිය හැකි යැයි සිතිය හැකි එකම පුද්ගලයා දකුණු අප්‍රිකාවේ කොයි-සැන් භාෂාව කතා කරන කණ්ඩායම් විය හැකිය.” යැයි ඔස්ටින් රෙනෝල්ඩ්ස් පවසයි. ඔස්ටින් ටෙක්සාසයේ බේලර් මානව විද්‍යා ආයතනයේ සහකාර මහාචාර්යවරයෙකු වන අතර, මිනිස් ගහණයේ ජාන විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකි.

කෝයි-සාව්න් යනුවෙන් ද හඳුන්වන ජන කණ්ඩායම කේන්ද්‍රගත වී සිටින්නේ බොට්ස්වානාව, නැමීබියාව, ඇංගෝලාව සහ දකුණු අප්‍රිකාවේ ය. ඔවුන්ගේ සුවිශේෂී භාෂා රටාව විසින් ඉඟි කරන්නේ ඔවුන් කිසිදා සංක්‍රමණය නොවූ අය විය හැකි බවයි.

මෙම ජන කණ්ඩායම් අදටත් ජීවත්වන්නේ මුලින්ම මිනිසා සම්භවය වූ බව සැලකෙන ස්ථානවලම ය. ඔවුන් තුළ සුවිශාල ජාන විවිධත්වයක් තිබේ. මෙම ජන කණ්ඩායම් ‘මානවයාගේ තොටිල්ල‘ ලෙස හදුන්වන ස්ථානයන් හි ජීවත් වන්නෝය.

මුලින්ම විද්‍යාඥයන්, මානවයාගේ තොටිල්ල දකුණු අප්‍රිකාව බව දැන සිටියේ නැත. ඔවුන් සිතුවේ ඒ නැගෙනහිර අප්‍රිකාව බවයි. මේ අතර ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ ජාන විශේෂඥයෙකු වන මාක් ස්ටෝන්කිං පවසන්නේ මුල්ම මානවයන් වන හෝමෝ සේපියන්ස්ලා බිහිවූයේ බටහිර අප්‍රිකාවෙන් ද විය හැකි බවයි.

හැම කෙනෙක්ම සංක්‍රමණිකයෙක්

‘‘මිනිසුන් හැම විටම සංක්‍රමණය වෙමින් සිටිනවා.‘‘ යැයි ස්ටෝන්කිං පවසයි. ආසියාවේ ජාන සංසරණය ගැන ඔහුගේ නවතම පර්යේෂණය මගින් පෙන්වා දෙන්නේ මිනිස් ගහණයන් එකිනෙකා සමග සදාකාලිකව සබඳතා පවත්වාගෙන ඇති බවයි. ‘‘සියලු මානව ගහණයන් හැම කෙනෙක් සමගම සම්බන්ධතා පවත්වාගෙන තිබෙනවා..‘‘

මේ බවට සලකුණු මිනිස් ජානවල, මානව සංස්කෘතියේ සහ මානව භාෂාවන් තුළ ඇත.

මෙම ප්‍රවේණි විද්‍යාඥයාට අනුව පූර්ව මානවයන් මෙයට වසර 100,000 කට පමණ පෙර අප්‍රිකාව පුරාම පැතිරී සිට ඇත. ඉන් පසුව ඔවුන් නැගෙනහිර අප්‍රිකාව හරහා මැද පෙරදිගට පැමිණ ඇති බවට විශ්වාස කෙරෙයි. ඉන්දියානු වෙරළ දිගේ මිනිසුන් වයඹ දිගට ඇවිද යන්නට පටන් ගත්තේ එයට වැඩි කලකට පසුව නොවේ. වසර දස දහස් ගණනක් තිස්සේ මේ ආකාරයට සංක්‍රමණිකයන් දහස් ගණනක් ලෝක ගෝලයේ විවිධ පැතිවලට ගොස් ඇත.

‘‘මිනිසුන් ලිංගිකව හැසිරීමට වගේම සංක්‍රමණය වීමටත් කැමතියි..‘‘ යැයි ස්ටෝන්කින් පවසිය. ඒ අනුව මිනිසා පරිණාමය වු යුගයේ පටන්ම ඔහු එක තැනක සිට නැත. අතිශය දුර්ලභ උදාහණ එක දෙකකදී හැර මිහිපිට වසන සියලු මිනිසුන්, අනිවාර්යයෙන්ම සංක්‍රමණිකයන් ය.

අද වන විට ලෝකයේ ඇතැම් රටවල් මහත් ගැටළුවක් බවට පත් කරගෙන සිටින සංක්‍රමණික ගැටලුවේ ඉතිහාස කතාවයි, මේ. එදා සහ අද සිදුවන මිනිස් සංක්‍රමණයන්ගේ වෙනසක් ඇති බව සැබෑ ය. එදා මිනිසුන් සංක්‍රමණය වූයේ නව භූමි භාගයන් ගවේෂණය කිරීම හෝ අලුත් තැනක පදිංචි වීමේ නැවුම් අත්දැකීමට ත්‍රාසජනක ලෙස ඔවුන් ආශා කළ නිසා ය. නමුත් අද වන විට මිනිසුන් සංක්‍රමණය වන්නේ (රටවල් අතර) බොහෝ කොටම තමන් උපත ලද දේශයේ තවදුරටත් ජීවත් වීමට සුදුසු වාතාවරණයක් නොමැති වූ විට ය. එය බොහෝ විට සන්නද්ධ අරගල හෝ දේශපාලන අස්ථාවරත්වය නිසා සිදුවන්නකි.

ලයිව් සයන්ස් සඟරාවේ පළ වූ ‘Is anyone on Earth not an immigrant?‘ ලිපිය ඇසුරෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි