×

ISIS සංවිධානය තෙල් ළිඳක් හෝ ආයුධ නැවක් වුණා නම් ..? – 2018 නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවයේදී නාදියා මුරාද් ප්‍රශ්න කරයි!

ලිංගික අපරාධ තුරන් කිරීම වෙනුවෙන් මෙවර නොබෙල් සාම ත්‍යාගය ඇතුළු නොබෙල් සම්මාන පිරිනැමීම, ඊයේ (10) රාත්‍රියේ ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවරදී පැවැත්විණි.


මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනා ගනු ලැබුවේ දෙදෙනෙකු විසිනි. ඒ, දහස් ගණන් ස්ත්‍රී දූෂණ වින්දිතයන්ට ප්‍රතිකාර කළ කොංගෝ රාජ්‍යයේ නාරිවේද වෛද්‍ය ඩෙනිස් මුක්වේජ් (Denis Mukwege) සහ අයිසිස් (ISIS) සංවිධානය විසින් ලිංගික ව අපහරණය කර දිවි බේරාගත් ඉරාක ජාතික යසිදි නාදියා මුරාඩ් (Yazidi Nadia Murad) විසිනි.

යුද්ධය ආයුධයක් වශයෙන් පාවිච්චි කරන විට ලිංගික ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා ඔවුන් විසින් කරනු ලැබූ/කරනු ලබන මෙහෙවර, ස්වීඩන් ක්‍රෝනා මිලියන 9 ක් වටිනා මෙම ත්‍යාගය පිරිනැමීමට හේතු පාඨය වශයෙන් කියැවිණි.

Tobias Schwarz Agence France-Presse Getty Images

Tobias Schwarz | Agence France-Presse | Getty Images

25 හැවිරිදි ක්‍රියාකාරිනී නාදියා මුරාද්, සම්මානය පිළිගනිමින් මෙසේ කීවාය. ‘‘ස්තූතියි.. නමුත් මේ ත්‍යාගය ලෝකයට ලැබෙන්නේ එම අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ විට පමණයි..“

‘‘දිනපතා ලෝකයේ සිදුවන ඝාතන පිළිබඳ මා මීට පෙර දැන සිටියේ නැහැ. මනුෂ්‍යයන්ට තවත් මනුෂ්‍යෙයකුට මෙවැනි නිහීන අපරාධ කළ හැකි බව මා දැන සිටියේ නැහැ..“

2014 අගෝස්තුවේදී ඇගේ ඉරාක ගමට කඩා වැදුණු අයිසිස් භටයන්, එගම සිටි ගැහැණුන් සහ පිරිමින් වෙන් කර, පිරිමින් සමූලඝාතනය කිරීමෙන් පසු කාන්තාවන් සියලු දෙනා ලිංගික වහලියන් ලෙස විකුණා දමා තිබිණි. නාදියා මුරාද් ව විකුණනු ලැබුවේ විනිසුරෙකු හට ය. වසර කිහිපයක දරුණු වධවේදනාවලින් මිදීමෙන් පසු ඇය පළා ඒමට සමත් වූවාය. අනතුරුව තමන් අයත් වන යැසිදි සුළුතරය මුහුණ දුන් අපරාධ පිළිබඳ කතා කිරීමට පටන් ගත්තාය.

නාදියා මුරාද් සිය උසස් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව රූපලාවන්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය.

ඉස්ලාමීය භටයන්ගේ ග්‍රහණයේ තමන් වැනිම තවත් කාන්තාවන් සහ දැරියන් 3000 ක් දෙනා දිනපතා දූෂණය වන බවත්, විකිණෙන බවත් ඇය සිහිපත් කළාය. ලෝකයේ රටවල් 195 ක රාජ්‍ය නායකයන් ඔවුන් මුදා ගැනීමට ප්‍රමාණවත් තරම් දෙයක් නොකරන බව පෙන්වා දුන් ඇය මෙසේ කීවාය.

‘‘මෙය වාණිජ ගනුදෙනුවක් හරි, තෙල් ළිඳක් හරි ආයුධ නැවක් හරි වුණා නම් ඔවුන් මෙසේ බලා සිටීවිද…!!!“

නාදියා මුරාද්ගේ කතාවට ඌනපූරණය එක් කළේ වෛද්‍ය ඩෙනිස් මුක්වේජ් විසිනි. යුද්ධවලදී සිදුවන ස්ත්‍රී දූෂණයන්ගේ වගකීම රාජ්‍යයන් විසින් භාරගත යුතු බව ඔහු එහිදී අවධාරණය කළේය.

වෛද්‍ය මුක්වේජ් දිනක් කොංගෝවේ බුකාවු හි පැන්සි රෝහලේ සේවය කරමින් සිටින විට ගිලන් රියක දමාගෙන මාස 18 ක (අවුරුදු එකහමාරක) දැරියක ගෙන එනු ලැබිණි. එම රෝහල පිහිටි ප්‍රදේශයට ප්‍රමාණවත් පරිදි විදුලි බලය හෝ නිර්වින්දන පහසුකම් තිබුණේ නැත. ඔහු ශල්‍යාගාරය වෙත ඇවිද ගියේය. හෙදිය හඬමින් සිටියාය. මාස දහඅටේ සිඟිති දැරිය නරුම වැඩිහිටියෙකු විසින් දූෂණයට ලක් කර තිබිණි. ඇගේ ලිංගික ප්‍රදේශය සහ ගුද මාර්ගය පමණක් නොව මුත්‍රාශය ද දරුණු ලෙස ඉරී-තැළී-බරපතළ ලෙස තුවාළ වී තිබිණි.

මෙම සිදුවීම, ඊයේ නොබෙල් සම්මාන වේදිකාවේදී වෛද්‍ය මුක්වාජ්, කම්පිත සිතින් යුතුව ලෝකය ඉදිරියේ දිග හැරියේ මෙසේ ය.

‘‘අපි නිහඬව යාඥා කළා. ‘‘මගේ දෙවියන් වහන්ස, අපි දකින දේ ඇත්තක් නොවෙන බව අපට කියන්න.. මේක නරක හීනයක් බව අපට කියන්න..!“

නමුත් එය සිහිනයක් වූයේ නැත. දෑස් හැර බලන විටත් එම දැරිය ඔවුන් ඉදිරියේ විය.

නැගෙනහිර කොංගෝව මේ වන විට දශක දෙකක් තිස්සේ සන්නද්ධ භටයන්, චෞරයන්, රජයේ සොල්දාදුවන්ගේ පමණක් නොව විදේශ හමුදාවන්ගේ ද ගොදුරු බිම් බවට පත්ව තිබේ. සිය දහස් ගණන් කාන්තාවන් එහිදී දූෂණයට ලක් වෙමින් සිටින අතර, මිලියන 4කට වඩා අවතැන් වී, මිලියන 6ක් දෙනා දැනට ඝාතනය කර දමා තිබේ. ජගත් සංවිධානය, කොංගෝව තුළ සිදුවන කෘෘර, අමානුෂික අපරාධ පිළිබඳ පමණටත් වඩා සනාථ කරගෙන තිබේ. නමුත් ගැටළුව වන්නේ, එයින් එහාට, දේශීය මට්ටමින් කිසිවක් සිදුනොවීමයි.

පාපීන් ට දඬුවම් නොලැබෙන්නේ නම් මේ මානව ඛේදවාචකය තවදුරටත් සිදුවනු ඇති බව ඔහු එහිදී අවධාරණය කළේය. පාපතරයන් නම් කිරීම සහ ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන ඒම මේ නිසා අත්‍යාවශ්‍ය බව ඔහු තවදුරටත් කියා සිටියේය. ‘‘කොංගෝවට ප්‍රචණඩත්වය තවත් එපා.. එපා.. එපා… දැන් අවශ්‍ය සාමයයි..“ යැයි ඔහු නොබෙල් වේදිකාව මත සිට හඬ ගෑවේය.

ගෙවී යන 2018 වසර, #MeToo ස්ත්‍රීවාදී ව්‍යාපාරයෙන් ලෝකයේ ප්‍රකට පුද්ගලයන් වෙව්ළුම් කෑ වර්ෂයයි. නමුත් ප්‍රසිද්ධියේ නිහීන අපරාධ සිදුකර නිර්නාමිකව වැජඹෙන පාපතරයන් නිසා මේ ලෝකයේ අප්‍රකටව ගැහැණු දරුවන් සහ ගැහැණුන් කොතරම් නම් මැරෙමින් උපදින්නේද? නාදියා සහ කොංගෝ නාරිවේදියා නොබෙල් වේදිකාව මත සිට උස් හඬින් කළ කෑ ගෑම අපට සිතන්නට ඉතිරි කරන සැබෑ කතාව එයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි