×

සිරකරුවන් 1000 කට වඩා පළා ගිය ඇෆ්ගන් බන්ධනාගාර බෝම්බයේ වගකීම IS භාර ගනියි

ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් නුවර මධ්‍යම බන්ධනාගාරයට එල්ල වූ ප්‍රහාරයේ වගකීම මේ වන විට IS සංවිධානය විසින් භාරගෙන ඇත.


සිරකරුවන් දහසකට අධික පිරිසක් මෙහිදී පළා ගිය අතර, අවම වශයෙන් 29 දෙනෙක් මරණයට පත් ව තිබේ.

ඊයේ සන්ධ්‍යාවේ බන්ධනාගාර දොරටුව අසල කාර් බෝම්බ කිහිපයක් පුපුරා හැර තිබුණේ තුවක්කුකරුවන් පිරිසක් විසිනි.

එම ගැටුම්වලදී ප්‍රහාරකයන් 8 දෙනෙක් මිය ගිය අතර, ගැටුම පැය 20කට අධික කාලයක් පැවතිණි.

ප්‍රහාරය සිදුවන විට බන්ධනාගාරය තුළ රැඳවියන් 1793 දෙනෙක් සිටියහ. ඔවුන්ගෙන් බහුතරය අයිසිස් සහ තලෙයිබාන් සටන්කරුවන් ය.

ජලාලාබාද් බලධාරීන්ට අනුව පළාගිය සිරකරුවන් දහසකට අධික පිරිස අතරින් 1025 දෙනෙක් නැවත අල්ලාගෙන තිබේ. 430 දෙනෙක් ගැටුම්වලට මැදිව සිටියදී මුදා ගනු ලැබිණි.

මිය ගිය, තුවාළ ලැබු, පළා ගිය හෝ නැවත අල්ලාගෙන ආ පිරිස්වල අවසානාත්මක සංඛ්‍යා ලේඛන තවම නිකුත් කර නැත.

මෙම ප්‍රහාරය සිදුව තිබුණේ ඇෆ්ගන් රජය සහ තලෙයිබාන් සටන්කරුවන් අතර ඇති ව තිබූ තාවකාලික තුන් දින සටන් විරාමයේ අවසන් දිනයේ වීම ද විශේෂත්වයකි.

තවද එදින ඇෆ්ගන් බුද්ධි අංශ ප්‍රකාශ කර තිබුණේ ජලාලාබාද් ආසන්නයේදී ඉහළ පෙළේ IS අණදෙන නිලධාරියෙකු වූ අස්සදුල්ලා ඔරාක්සායි මරා දැමූ බවයි.

මේ අනුව, මෙය IS සංවිධානය විසින් සිදුකළ පළිගැනීමක් හෝ එකට එක කිරීමක් ලෙස විචාරකයෝ සලකති.

Cover Photo: BBC

[embedyt] https://www.youtube.com/watch?v=0E1MI6qcFxw[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි