×

ඉරානයට අවි අමෝරන ඊශ්‍රායලය නම් දේශපාලන අනාථයා 

ඊශ්‍රායලයේ ගරා වැටුණු පාලන තන්ත්‍රය හමුවේ ඉරානයට යුධ ප්‍රකාශ කිරීමට යාම විසිළුවක් යැයි යමෙකුට නොසිතේ නම් අරුමයකි.


ඊශ්‍රායලය ඉරානය මැඬ පැවැත්වීම සඳහා සැලසුම් කළ බහු-වාර්ෂික සැලැස්මක් තාවකාලිකව අත්හිටුවා ඇති බවට වාර්තා වේ.

ඒ, ඊශ්‍රායලයේ දේශපාලන අස්ථාවරභාවය හේතුවෙනි.

මේ අතර, ඉරානය සිරියාවේ සන්නද්ධ භූමිය තුළ සිය ස්ථාවරත්වය තහවුරු කරගනිමින් මිලිටරි පාලනයක් සඳහා සූදානම් වෙමින් පසුවෙයි.

ඉරානයේ අගනුවර වන ටෙහෙරානය මේ වන විට ලෙබනන සහාය ඇති හිස්බුල්ලා සංවිධානය සමඟ එක්ව ශක්තිමත් හමුදා සේනාංකයක් ගොඩනංවා ගැනීමට සමත් ව තිබේ.

ඒ අතර, ෂියා මුස්ලිම් කණ්ඩායම් වලට අයත් රොකට් හා මිසයිල 130,000 පමණ භාවිතයට ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙම අවි භාවිතා කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය ඉරානය සතුවේ.

එමෙන්ම ඒ සඳහා විධිමත් පුහුණුවක් ඉරානය වෙත ලැබෙමින් පවතී.

මෙමඟින් හිස්බුල්ලා සංවිධානය 2006 වසරේ හටගත් දෙවන ලෙබනන් යුධ සමයට වඩා දරුණු මිනිස් සංහාරයක් සිදුකිරීමට ඉඩ පවතින බවට විද්වත්හු අනතුරු අඟවති.

පසුගිය සැප්තැම්බර් මස සෞදි අරාබියේ තෙල් කම්හල් වලට ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරය හමුවේ ඊශ්‍රායලය තැති ගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා මෙහෙයුම් ප්‍රධානී මේජර් ජෙනරාල් අහරොන් හලීවා පවා ඉරානයේ හමුදා ශක්තිමත්භාවය පිළිබඳ අනතුරු අඟවා තිබිණි.

ගාසා තීරයේ උද්ගත වී ඇති තත්ත්වයට වඩා ලෙබනනයෙන් හා සිරියාවෙන් එල්ල වන ප්‍රහාර පිළිබඳ සිතීමට ඊශ්‍රායලයට දැන් සිදුව තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ ගාසා තීරයේ නොසන්සුන්කාරී තත්ත්වය මැඬ පැවැත්විය හැකි බවත්, සැබෑ සතුරා තම දේශයටම උතුරින් වසන බවත් ය.

ඊශ්‍රායලයට ඉරානය ඉදිරියේ දණ ගැසීමට සිදුවේ ද?

නූතනයේ දේශපාලනික අනාථභාවයට පත්ව ඇති ඊශ්‍රායලය වතා 2කදී මැතිවරණ තුලින් ස්ථාවර රජයක් පිහිටුවා ගැනීමට අපොහොසත් වී තිබේ.

ඒ අනුව 2020 මාර්තු වන විට තෙවන වරටත් මහ මැතිවරණයකට ඉදිරිපත් වීමට නියමිතය.

ඊශ්‍රායලයේ අගනුවර වන ජෙරුසලමේ පිහිටවූ භාරකාර රජය මේ වන විටත් ආර්ථික, නීතිමය හා දේශපාලනික වශයෙන් ප්‍රතිසංස්කරණ ඇතිකිරීමට අසමත්වී තිබේ.

ප්‍රතිපත්ති සම්පාදනය අතින් එකඟතාවකට පැමිණීමට නොහැකි ඊශ්‍රායල භාරකාර රජය මෙහෙයවන්නේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නේතන්යාහු විසිනි.

ඉරානයේ ඉස්ලාමීය කැරලිකරුවන් ඊශ්‍රායලයට පහර දීම දැනටමත් ආරම්භ වී තිබේ.

පසුගිය නොවැම්බර් 20 වන දින ඉරානයේ අන්තවාදී කණ්ඩායම් සිරියානු යුධ භූමිය හරහා ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර දියත් කොට ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසා සිටියේ ඉරාන ප්‍රහාර කලාපීය ආරක්ෂාවට තර්ජනයක් ව පවතින බවත්, ප්‍රතිප්‍රහාර එල්ල කිරීම පිළිබඳ අවධානය යොමුකළ බවත් ය.

එහෙත්, ඊශ්‍රායලයේ ගරා වැටුණු පාලන තන්ත්‍රය හමුවේ ඉරානයට යුධ ප්‍රකාශ කිරීමට යාම විසිළුවක් යැයි යමෙකුට නොසිතේ නම් අරුමයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි