×

ඊශ්‍රායලය දෙවන Monkeypox ආසාදිතයාත් වාර්තා කරයි! ආසාදනයේ ඉහළ යාමක්?

ඊශ්‍රායලයෙන් Monkeypox ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු වාර්තා වී තිබේ.


මොවුන් දෙදෙනා ගෙන් එක් අයකු ඊයේ (28) දින වාර්තා වී ඇති අතර, එම පුද්ගලයා ඊශ්‍රායලයේ ටෙල් හාෂොමර් හි ෂීබා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ඇතුළත් කර තිබේ.

පළමු monkeypox ආසාදිත පුද්ගලයා ඊශ්‍රායලයෙන් වාර්තා වූයේ මීට සතියකට පමණ ඉහත වන අතර, ඊයේ දින වාර්තා වූ ආසාදිත පුද්ගලයා මෑත දිනක විදෙස් සංචාරයක සිට නැවත පැමිණි පුද්ගලයකු බවට සඳහන්.

වසූරිය රෝගී තත්ත්වයට සම්බන්ධතාවයක් දක්වන monkeypox මේ වන විට ලෝකයේ විවිධ රටවල මහජන සෞඛ්‍ය අර්බුදයක් හිස එසවීමේ අවදානමක් ගොඩනඟා තිබේ. කෙසේවෙතත්, දැනටමත් භාවිතා කරන එන්නත් භාවිතයෙන් මෙම වෛරස ආසාදනය පාලනය කළ හැකි බවයි විද්වතුන් පවසන්නේ.

Monkeypox ට එරෙහිව යොදාගන්නා එන්නත දැනටමත් රටවල් කිහිපයක ගබඩා කර ඇති බැවින් ඒවා භාවිතා කිරීමේ හැකියාව පවතී.

ඉකුත් මැයි 07 වන දින පළමු monkeypox ආසාදිත පුද්ගලයා වාර්තා වූයේ එක්සත් රාජධානියෙන් ය. මෙම සිදුවීමත් සමඟ එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention) වහා ක්‍රියාත්මක වූ අතර, අදාළ ආසාදිත පුද්ගලයා දැඩි වෛද්‍ය අධීක්ෂණයට ලක් කළේය.

මේ වන විට යුරෝපයේ රටවල්, උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ ඊශ්‍රායලය ඇතුළු රටවල් 16 ක පමණ monkeypox ආසාදිත පුද්ගලයන් 250 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, මෙම ආසාදනයන් ඇතිව තිබෙන්නේ monkeypox වෛරසයේ බටහිර අප්‍රිකානු ප්‍රභේදයෙන් බවට හඳුනා ගෙන තිබේ.

Monkeypox ආසාදනය නිසා පළමුව උණ වැනි රෝග ලක්ෂණ ඇතිකරන අතර, පසුව මුහුණේ බිබිලි ඇති කර සිරුරේ අනෙකුත් කොටස් වලට පැතිර යාම සිදුවේ. මෙම වේදනාව රතු ලප වලින් ආරම්භ වන අතර, පසුව සැරව පිරුණු බිබිලි දක්වා පරිවර්තනය වී බිඳී යාම සිදුවෙයි. මෙම රෝග ලක්ෂණ බොහෝ විට සති කිහිපයක කාලයක් තුළ පහව යන මුත්, ආසාදිත අවස්ථා වලින් සියයට තුනක් පමණ මාරාන්තික විය හැකි බව ද සඳහන්.

මෙම ආසාදනයේ කොංගෝ ද්‍රෝණි අසළ හඳුනාගත් ප්‍රභේද මීටත් වඩා මාරාන්තික විය හැකි අතර, ආසාදිත අවස්ථා වලින් සියයට 10ක් පමණ මරණයට පත්වන බව වාර්තා වේ.

Monkeypox ට සබඳතාවක් දක්වන 1979 වර්ෂයේදී තුරන් කරන ලද වසූරිය ආසාදනයෙන් මරණයට පත්වූ ආසාදන අවස්ථා සියයට 30 ක තරම් තත්ත්වයේ පැවතිනි.

Photo: iStock



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි