සටහන – රෂිකා හෙන්නායක
මැයි 19 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ගාසා තීරයේ රෆා නුවර ඊශ්‍රායලය විසින් සිදු කරන හමුදා මෙහෙයුම් නතර කිරීමට බලපෑම් කරන ලෙස දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පදනම් විරහිත සහ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කළ බවට ඊශ්‍රායලය චෝදනා එල්ල කර ඇතැයි Al Jazeera වාර්තා කළේය.
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර අපරාධ අධිකරණය පෙරේදා විභාගයට ගත් අතර, එය පදනම් විරහිත බවට ඊයේ ඊශ්‍රායලයේ නීතිඥවරු ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මීට පෙර පසුගිය ජනවාරියේදී ද එවැනිම පැමිණිල්ලක් දකුණු අප්‍රිකාව වෙතින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් වී තිබූ අතර, පදනම් විරහිත බව කියමින් ඊශ්‍රායලය එම චෝදනාව ද ප්‍රතික්ෂේප කර තිබිණි. සහනාධාර බෙදා හැරීමේ නියෝජිතයන්ට, මාධ්‍යවේදින්ට සහ විමර්ශන නිලධාරීන්ට ගාසා තීරයට ඇතුළු වීමට අවසර දෙන්නැයි ඊශ්‍රායලයට බලපෑම් කරන ලෙසත් දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
හමාස් සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව මීට දින 11කට පෙර රෆා ප්‍රහාර ආරම්භ කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ තවත් රටවල් රැසක අනතුරු ඇඟවීම් මධ්‍යයේය. එම මෙහෙයුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා රෆා නගරයෙන් පලස්තීනුවන් ලක්ෂ 6කට වැඩි ප්‍රමාණයක් පලා ගොස් ඇතැයි ද Al Jazeera වාර්තා කළේය.