×

කෝවිඩ් ලොක්ඩවුන් සහ සංචරණ සීමා ඉවත් කළ රටවල් 6 ක අද ඉරණම – නෙදර්ලන්තයේ ආසාදිතයන් 500%කින් ඉහළට

එක්සත් රාජධානිය ජූලි 19 වැනිදා සිට සම්පූර්ණයෙන්ම පාහේ කෝවිඩ් ලොක්ඩවුන් සහ සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර ඇත.


 මෙය සාද දැමිය යුතු තීරණයක් ලෙස පෙනී ගියත්, පහත රටවල් 6 හි උදාහරණය පෙන්වා දෙන්නේ, එය සිතන තරම් සැහැල්ලුවෙන් භාරගත යුතු දෙයක් නොවන බවයි.

ඊශ්‍රායලය

වැක්සින් වැඩසටහන වේගවත් කළ ඊශ්‍රායලය, සියලු ලොක්ඩවුන් සහ සංචරණ සීමාවන් ඉවත් කරන්නට තීරණය කළේ 2021 පෙබරවාරියේ ය.

ජූනි මස මැද භාගය වන විට, එනම් ජනගහනයෙන් හරි අඩක් පමණ ද්විත්ව වැක්සින් මාත්‍රා ගෙන තිබියදී ඊශ්‍රායල් වැසියෝ මුහුණු වැසුම් පැළඳීම නතර කළහ. වසංගතයට පෙර තිබූ තත්වය වෙත නැවත ජන ජීවිතය රැගෙන ආහ. කඩසාප්පු, හෝටල් සහ සිනමා ශාලා සම්පූර්ණයෙන් විවෘත කෙරිණි.

Restaurant in IsraelGETTY IMAGES
මාර්තු මාසයේ ඊශ්‍රායලය

එතැන් පටන් දෛනික කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් වැඩි වන්නට විය. ඒ වන විට ඉන්දියානු කෝවිඩ් ප්‍ර භේදය වන ඩෙල්ටා වේරියන්ට් පැතිර යාම වේගවත් ව තිබූ අතර, දෛනික කෝවිඩ් ආසාදනවලට වැඩි වශයෙන්ම වග කිව්වේ එයයි. අවසානයේ මාස 4 ගත වන තැන, පසුගිය අඟහරුවාදා දෛනික රෝගීන් ගණන 754 ක උපරිමයක් වාර්තා කළේය.

නව අගමැති නැෆ්තලි බෙනට්ගේ ආණ්ඩුව ද දැන් මෙම තත්වය තුළ අපහසුතාවයකට පත් ව සිටියි.

දැන් ඔවුන් සැරසෙන්නේ “soft suppression” යනුවෙන් දැඩි නොවූ වෙනත් ප්‍ර වේශයක් අනුගමනය කරන්නට ය. ඒ අනුව තවදුරටත් කෝවිඩ් සමග ජීවත් වන ආකාරය ඉගෙන ගන්නා ලෙසට ඊශ්‍රයල් ජාතිකයන්ට සැර නැති අන්දමකින් බල කිරීමක් කෙරේ.

ගොඩනැගිලි අභ්‍යන්තරයේදී පවා නැවත වරක් මුහුණු ආවරණ පැළඳීම සහ ඊශ්‍රායලට පැමිණෙන සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීම ඒ අතර වේ.

 

නෙදර්ලන්තය

එන්නත්කරණය වේගවත් වන විට සහ දෛනික ආසාදන සංඛ්‍යාව පහළ බසින විට පසුගිය ජූනි මාසයේදී නෙදර්ලන්තය නැවත විවෘත කෙරිණි. මුහුණු ආවරණ පැළඳීම අමතක කර දැමිණි. තරුණ ජනගහනය පිටතට යාම සඳහා දිරිමත් කෙරිණි.

එතැන් පටන් ආසාදන සංඛ්‍යාව අහස උසට වැඩි වන්නට පටන් ගෙන තිබේ. මේ වන විට එය දෙසැම්බරයේ සිට මේ දක්වා වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව දක්වා වර්ධනය වී ඇත. බලධාරීන් පවසන්නේ රෝහල්ගත වීම් වල සැලකිය යුතු වැඩි වීමක් සිදුව නැතිබවයි. කෙසේ නමුත් නව ආසාදන සංඛ්‍යාව 500%කින් ඉහළ ගොස් ඇත.

Cafe in AmsterdamGETTY IMAGES
ඕලන්ද ජාතිකයන් සැහැල්ලුවෙන්

උද්ගත වූ තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් වෙත විවේචන එල්ල වන්නට පටන් ගත් විට අගමැති මාක් රූට් හට ලැජ්ජාවෙන් වුවත් U වංගුවක් ගැනීමට සිදු විය. ඒ අනුව පසුගිය සිකුරාදා පටන් බොහෝ කෝවිඩ් සීමාවන් නැවත පනවා තිබේ. ඇත්ත වශයෙන්ම ඔවුන්ට අන්ධයන් මෙන් විනෝද වූයේ සති 3 ක් පමණි.

දැන් නෙදර්ලන්තයේ අවන්හල් සහ තැබෑරුම් නැවතත් මධ්‍යම රාත්‍රියේ සිට වසා දැමේ. සියලු රාත්‍රී සමාජ ශාලා ද වසා දැමීමට සිදු විය. ආචාර ධර්ම දන්නා ජන නායකයෙකු වූ අගමැතිවරයා තමන්ගේ ‘දුර්වල විනිශ්චය‘ සම්බන්ධයෙන් සිය ජනතාවගෙන් සමාව ද ඉල්ලා සිටියේය.

නැවත පැනවූ කෝවිඩ් සීමාවන් අගෝස්තු 13 දක්වා ම දැනට දීර්ඝ කර ඇත.

 

දකුණු කොරියාව

කෝවිඩ්-19 වසංගතය මර්දනය කළ රටක් ලෙස මුලින්ම පැසසුමට ලක්වූ රටක් වූයේ දකුණු කොරියාවයි. එය, වසංගත රේඛාවෙන් ඉවත් වූ පළමු ආසියාතික රට ද විය.

2021 ජූනි මාසයේදී දකුණු කොරියාව, එන්නත්කරණයට ලක් වූ ජනතාවට මුහුණු ආවරණ නොපැළඳ එළිමහනට යාමටත්, කුඩා පුද්ගලික හමු පැවැත්වීමටත්, ආපනශාලාවල නිදහස් කාලය ගත කිරීමටත් අවසර ලබාදීමට සැලසුම් සකස් කළේය. එය ක්‍රියාවට නැංවිණි.

නමුත් විශේෂඥයන් පෙන්වා දුන්නේ නැවත වරක් කොරෝනාවෛරසය කැඳවා ගැනීමට මෙය පහසු මගක් විය හැකි බවයි. මන්ද යත්, දකුණු කොරියාවේ ජනගහනයෙන් බහුතරයක් දෙනා තවමත් එන්නත්කරණයට ලක් කර නැත.

දැන්, දකුණුකොරියාව මුහුණ දී සිටින්නේ රටේ දරුණුම කෝවිඩ් රැල්ලට ය.

Seoul mask wearersGETTY IMAGES
දකුණු කොරියානුවන්ට නැවතත් මුහුණු ආවරණ පැළඳීමට නියම කර තිබේ.

වාර්තාගත අන්දමින් ආසාදන සංඛ්‍යාව ඉහළ යද්දී සමාජ දුරස්ථකරණ නීති නැවත දැඩි කරන්නට බලධාරීන්ට සිදු විය. රට පුරාම මෙය ක්‍රියාවට නංවා තිබේ. සෝල් අගනුවර පදිංචිකරුවන්ට, රාත්‍රී 6 න් පසු තවත් එක් අයෙකුට වඩා සහභාගි වන රැස්වීම්වලට එක් විය නොහැක. එනම්, දෙදෙනෙකුට වඩා එකවර මුණ ගැසිය නොහැක.

 

ස්වීඩනය

බොහෝ රටවල් මෙන් නොව ස්වීඩනය බොහෝ දුරට මෙම වසංගතය පාලනය කර ගත්තේ ස්වෙච්ඡාවෙන්ම ඒ වෙනුවෙන් කැප වෙමිනි. ඒ අතින්, ආදර්ශමත් ජනතාවක් ලෙස ඔවුහු මුළු ලෝකයටම ආදර්ශයක් ලබාදුන්හ. වසංගතයේ මුල අවධියේ පටන්ම ආපනශාලා සීමා සහිත ලෙස වසා දැමීම, පිරිස් රැස්වීම තහනම් කිරීම වැනි පියවර ගැනිණි.

නමුත් ක්‍රම ක්‍රමයෙන් මෙම සීමාවන්ගෙන් සමහරක් ලිහිල් වූයේ, ක්‍රීඩාංගනවල 3000 ක් දෙනාට තරග නැරඹීමට පහසුකම් ලබාදෙමිනි. ජූලි 1 වැනිදා පටන් ආපනශාලා ආදියට විවෘතව තබන කාලසීමාවන් නියම කිරීම අතහැර දැමිණි. ජූලි 15 වැනිදා වන විට තවත් බොහෝ සීමාවන් ඉවත් කර තිබේ.

වසන්ත සෘතුවේ අඩු ශීතල, වැක්සින්කරණය වේගවත් වීම වැනි කාරණා මත බොහෝ ස්වීඩිෂ් ජාතිකයෝ එළිමහනේ කල් ගත කිරීමට පෙළඹුණහ.

නමුත් ඩෙල්ටා වේරියන්ට් වේගයෙන් පැතිරෙන බව දැන් පෙනෙන්නට තිබේ. නැවත කෝවිඩ් සීමාවන් පැනවීමට සිදුවිය හැකි බව අඟවමින් ස්වීඩනයට පැමිණෙන සියලු දෙනා දැන් කෝවිඩ්-19 පරීක්ෂාවකට ලක් වීම අනිවාර්ය කර ඇත.

ඔස්ට්‍රේලියාව

ජූනි මස මැද භාගයේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජන ජීවිතය යථා තත්වයට හැරෙමින් තිබුණේ ගෝලීය වසංගතයකට ඔවුන් මුහුණ දුන් බව අමතක කරමිනි. ඒ වන විට මාසයකටත් වඩා වැඩි කාලයක් මුළුල්ලේ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවන තත්වයක් ඇති ව තිබිණි. මේ අතර සෙසු පළාත්වල ද සීමාවන් ටිකෙන් ටික ලිහිල් විය. වෛරසය මුලිනුපුටා දැමීමේ ප්‍රතිපත්තියක් ගැන සෞඛ්‍ය බලධාරිහු කතා කළහ.

නමුත් ජූනි මස අග භාගය වන විට රටේ ලොකුම නගරය ලොක් ඩවුන් තත්වයට පත් කිරීමට සිදුවූයේ ඩෙල්ටා වේරියන්ට් හිස එසවීමත් සමග ය. බදාදා දිනයේ දී එම ලොක්ඩවුන්තත්වය තවත් සති 2 ක් සඳහා දීර්ඝ කෙරිණි. ඒ, නිව් සවුත් වේල්ස් ජනපදයෙන් දිනකට අලුත් ආසාදන 100 කට වැඩි ගණනක් වාර්තා වන්නට පටන් ගැනීමත් සමග ය.

ක්වීන්ස්ලන්තය, බටහිර ඔස්ට්‍රේලියාව වැනි පෙදෙස්වල ‘ස්නැප් ලොක්ඩවුන් ‘තත්ව ප්‍රකාශයට පත් කෙරුණේ රෝගීන් කිහිප දෙනෙක් බැගින් හමුවිමත් සමග ය.

මේ වන විට ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 90%කට වඩා එන්නත්කරණයට ලක් කර නැති අතර, ෆයිසර් එන්නත ප්‍රමාණවත් පරිදි නොමැති වීම තුළ වසරේ අග මාස දක්වා එන්තත්කරණය සම්පූර්ණ කර ගැනීමට ඔවුන්ට නොහැකි වනු ඇත. ඒ අනුව ‘නව සාමාන්‍යයේ‘ සිට ‘පැරණි සාමාන්‍යය‘ දක්වා රට ගෙන යාමට සැලකිය යුතු කාලයක් ගත වනු ඇතැයි බලධාරීහු දැන් කියති.

ඇමරිකාව

නව ජනපති ජෝ බයිඩන්ගේ පරිපාලනය වැක්සින්රකණය වේගවත් කරමින් සිටිනඅතරවාරයේ ජනපද කිහිපයක් සීමා ලිහිල් කළ අතර, මුහුණු ආවරණ අනිවාර්ය කිරීම අවලංගු විය. ව්‍යාපාර ද නැවත ක්‍රියාත්මක කෙරිණි.

2021 ජූනි මස වන විට ඇමරිකාවේ වැඩිම ජනගහනයක් ජීවත් වන ජනපදය වන කැලිෆෝනියාව “grand reopening” යනුවෙන් මහා නැවත විවෘත කිරීමකට ගියේය. නිව්යෝක් ජනපදය ද එන්නත්කරණ ප්‍රතිශතය 70% ඉක්මවන විට සියලු සීමාවන් ඉවත් කරන තැනට පත් විය. නව  CDC රෝග පාලන උපදෙස් ප්‍රකාශයට පත් කෙරිණි.

සමස්තයක් ලෙස සලකන විට ඇමරිකාවේ නව ආසාදන ප්‍රශස්ත ලෙස අඩු විය. ජනවාරි මාසය වන විට උපරිමයක් ව පැවති ආසාදන සංඛ්‍යාව 9/10 කින් අඩු විය. නමුත් ගත වූ සති 2 තුළ එය නැවතත් දෙගුණ වී තිබේ.

නමුත් ඇමරිකාවේ වඩාත් ග්‍රාමීය ජනපදවල එන්නත්කරණය ක්‍රියාත්මක වන්නේ අඩු වේගයකිනි. එය හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට සටන් පාඨයක් ද සපයා  තිබේ. එය කුමන්ත්‍රණයක් යැයි ඔහු කියා ඇත. මේ ජනපද සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ලැදියාවකින් කටයුතු කිරීම වටහාගත හැකි දෙයකි. ඔහුගේ ඡන්ද පදනමෙන් වැඩි කොටස පවතින්නේ මෙම ග්‍රාමීය සහ දුරබැහැර ජනපදවල ය. මේ අනුව ඩෙල්ටා වේරියන්ට හි ග්‍රහණයට නතු වීමට වැඩි ඉඩක් ඇති කලාප බවට ද ඒවා පත්ව ඇත.

මේ අතර, සතියක් ඇතුළත නිව්යෝක් හි ආසාදන සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වී තිබේ. මේ වන විට ඇමරිකාවේ එන්නත්කරණයට ලක් නොවූ පිරිස්, කෝවිඩ් වසංගතයට ගොදුරු වී වැඩි වශයෙන් රෝහල්ගත වන ස්වභාවයක් ද දැකගත හැක.

***

මේ සියලු තත්වයන් අපට නොකියා කියන පණිවුඩය, පැරණි සාමාන්‍යය කරා යන්නට ‘තවම වේලාව පැමිණ නැත‘ යන්නයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි