×

ඉතාලිය බෙනීටෝ මුසෝලිනිගෙන් පසු ජෝර්ජියා මෙලෝනිට

අභිනවයෙන් බලයට පැමිණෙන අගමැතිහට වඩාත්ම දැවෙන බලශක්ති පිරිවැය සහ ආර්ථික අවිනිශ්චිතතාවයන් සමඟ අභියෝග ගණනාවකට මුහුණ දීමේ වගකීම පැවරෙනු ඇත.


පසුගිය ඉරිදා දිනයේ පැවැති මැතිවරණයෙන් බ්‍රදර්ස් ඔෆ් ඉතාලි දක්ෂිණාංශික සන්ධානයක් ජයග්‍රහණය කිරීමෙන් පසු අන්ත දක්ෂිණාංශික ෆැසිස්ට්වාදී ජෝර්ජියා මෙලෝනි ඉතාලියේ ප්‍රථම අගමැති බවට පත්වීමට නියමිතව තිබේ.


මැතිවරණයේදී ෆැසිස්ට් සම්භවයක් ඇති අන්ත දක්ෂිණාංශික පක්ෂ සන්ධානය අවම වශයෙන් 44% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර, සභාග හවුල්කරුවන් වන මැටියෝ සැල්විනිගේ නායකත්වයෙන් යුත් ලීගය 9% ක් හා සිල්වියෝ බර්ලුස්කෝනිගේ ෆෝසා ඉතාලියා 8% ලබා ගෙන තිබේ. අවසන් ප්‍රතිඵල වාර්තා කළ මුත්ව නව රජයක් පිහිටුවීමට සති කිහිපයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.


මෙලෝනි සිය මැතිවරණ ව්‍යාපාරයේදී ඉතාලියානුවන්ට මුල් තැන දීම සහ දැඩි සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් සමඟ ලොව පුරා බොහෝ දෙනා කනස්සල්ලට පත්ව තිබේ. එමෙන්ම මේ වන විට ඉතාලියේ නීතිගත කරන ලද සමලිංගික සංගම් සමාලෝචනයට ලක් කරන බවට තර්ජනයන් මතුව ඇති අතර ගබ්සාව වැනි කාන්තා අයිතිවාසිකම් පිළිබඳ බියද මතුවෙමින් පවතියි.


එක්සත් ජනපදය රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ට්විට්හි මෙලෝනිගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජනපදය ඉතාලියේ නව රජය සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වන නමුත් මානව හිමිකම්වලට ගරු කිරීම අපේක්ෂා හා තිරසාර ආර්ථිකයක් ගොඩ නැගීම අපේක්ෂා කරන බවයි. එමෙන්ම ඉතාලිය වටිනා හවුල්කරුවකු වශයෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ ඉතාලි ජනතාවගේ “ප්‍රජාතන්ත්‍රවාදී තේරීමට” තමා ගරු කරන බවයි. ප්‍රංශයේ අගමැති එලිසබෙත් බෝර්න් පැවසූයේ මෙලෝනිගේ ජයග්‍රහණයෙන් පසු ප්‍රංශය ඉතාලියේ ගබ්සා කිරීම් සහ මානව හිමිකම් නිරීක්ෂණය කරන බවයි. එමෙන්ම යුරෝපීය කොමිසමේ සභාපතිවරයා සමඟ, මෙම මානව හිමිකම්, එකිනෙකාට ගරු කිරීම, විශේෂයෙන් ගබ්සා කිරීමේ අයිතිවාසිකම්වලට ගරු කිරීම, පිලිබඳ ඔවුන් සැළකිලිමත් වන බව වැඩිදුරටත් පවසා තිබේ.

එමෙන්ම ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික පක්ෂ නායකයෝ මෙලෝනිගේ ජයග්‍රහණයට සුබ පතා ඇති අතර ඉතාලි ජනතාව දේශප්‍රේමී සහ ස්වෛරී ආන්ඩුවක් පත් කර ගැනීමෙන් ඔවුන්ගේ ඉරණම තමන් අතට ගැනීමට තීරණය කර ඇත. මෙම විශිෂ්ට ජයග්‍රහණය ලබා ගැනීමෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ අහංකාර යුරෝපා සංගමයේ තර්ජනවලට ප්‍රතිරෝධය දැක්වීම වෙනුවෙන් මෙලෝනිය සුබ පතන බව ඔවුන් ට්විට්හි සඳහන් කර ඇත.


මෙලෝනිගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ජර්මනිය කනස්සල්ල පළකර තිබේ. කොන්සර්වේටිව් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (CDU) නීති සම්පාදකයෙකු සහ විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන Jurgen Hardt පැවසා තිබුණේ මෙලෝනිගේ ෆැසිස්ට් ප්‍රකාශන සම්බන්ධයෙන් තමා කැළඹී සිටින බවයි. වර්ගවාදයට සහ සුළු ජාතීන් බැහැර කිරීමට තවදුරටත් යුරෝපයේ ඉඩක්‌ නොතිබිය යුතු බව ඔහු මෙහිදී සඳහන් කර තිබිණ.


මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් රුසියාව සඳහන් කර තිබුණේ අපේ රටට වෛර නොකරන ඕනෑම දේශපාලන බලවේගයක් පිළිගැනීමට අපි සූදානම් බවයි. එමෙන්ම පෝලන්ත අගමැති අන්ත දක්ෂිනාංශයේ “විශිෂ්ට ජයග්‍රහණය” අගය කර තිබේ. යුරෝපීය කොමිසම ප්‍රකාශ කර තිබුණේ ඔවුන් ඉතාලි රජය සමඟ ඵලදායී සබඳතාවයක් අපේක්ෂා කරන බවයි.

පැවැති මැතිවරණය වෙනුවෙන් ඉතාලියේ ජීවන වියදම් අර්බුදය, යුරෝපීය Covid-19 ප්‍රතිසාධන අරමුදලෙන් යුරෝ බිලියන 209 (ඩොලර් බිලියන 200) පැකේජයක් සහ යුක්‍රේනය සඳහා රටේ සහයෝගය ඇතුළු කරුණු බලපෑම් කිරීමට සමත් ප්‍රධාන කාරණාවන් වන අතර අභිනවයෙන් බලයට පැමිණෙන අගමැතිහට වඩාත්ම දැවෙන බලශක්ති පිරිවැය සහ ආර්ථික අවිනිශ්චිතතාවයන් සමඟ අභියෝග ගණනාවකට මුහුණ දීමේ වගකීම පැවරෙනු ඇත.


සිය ජයග්‍රහණයත් සමඟ මෙලෝනි ප්‍රකාශ කර තිබුණේ ඉතාලියානුවන් අපව තෝරා ගත් අතර, අප කිසි දිනෙක නොකළ පරිදි අපි එය පාවා නොදෙන බවයි.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි : ඉතාලියෙන් හමා එන ෆැසිස්ට්වාදයේ නව සුළඟ ජෝර්ජියා මෙලෝනි

ඉතාලියෙන් හමා එන ෆැසිස්ට්වාදයේ නව සුළඟ ජෝර්ජියා මෙලෝනි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි