×

අයිවරි කෝස්ට් හි මෝරුන්, මඩුවන්, කැස්බෑවන් ට සුබ කාලයක් – බටහිර අප්‍රිකාව සාගර ආරක්ෂණය වෙතට

අයිවරි කෝස්ට් එහි ප්‍රථම සාගර ආරක්ෂණ කලාපය ග්‍රෑන්ඩ් බෙරෙබි නම් කුඩා බටහිර නගරයේ වෙරළාශ්‍රිත ව ඇති කර තිබේ.


මෙය කඩොලාන, කොරල්පර සහ කැස්බෑවුන් ගේ අභිජනන කලාපයක් ලෙස ගෝලීයව වැදගත් ප්‍රදේශයකි.

මේ තීරණය මෝරුන් සහ මඩුවන් ඇතුළු ජීවීන් වර්ග 20කට අධික ප්‍රමාණයක ආරක්ෂණයට බලපාන බව මේ තීරණයට සහය පළ කළ ආයතනයක් වන එක්සෙටර් සරසවිය සදුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

ආරක්ෂණය කර ඇති ප්‍රදේශය වර්ග සැතැපුම් 1000කින් පමණ සමන්විත වේ.

“බටහිර අප්‍රිකාවේ සාගර ආරක්ෂණ මට්ටම සාමාන්‍යයෙන් අඩු තත්ත්වයක පවතින නිසා, අයිවරි කොස්ට් රජය සාගර ආරක්ෂිත කලාපයන් නිර්මාණය කිරීම එම කලාපයට ම උදාහරණයක් සපයන්නක් වේවි” යැයි එක්සෙටර් සරසවියේ පරිසර විද්‍යාව සහ සං‍රක්ෂණ මධ්‍යස්ථානයේ ආචාර්‍යවරයකු වන ක්‍රිස්ටියන් මෙට්කාෆ් එම නිවේදනයේ කියා සිටියේ ය.

පසුගිය සැප්තැම්බරයේ තමා සාගර ආරක්ෂිත කලාප පහක් ඇති කරන්නට බලාපොරොත්තු වන බව අයිවරි කොස්ට් රාජ්‍යය කියා සිටියේ ය. සං‍රක්ෂණවේදීන් සමග එම රජය සැසැන්ඩ්‍රා, ෆ්‍රෙස්කො සහ බන්ඩාමා මෝය වැනි ප්‍රදේශ කීපයක් මේ කාර්‍යය සදහා අධ්‍යයනය කරමින් සිටියි.

මේ සෑම ප්‍රදේශයක ම ඉතිරි ව ඇති කඩොලාන ව්‍යාප්තියට පීඩන එල්ල වී ඇති අතර, ඒ අසල ඇති ආදිතම වනාන්තර විනාශය සහ ඒවා පාම් තෙල් වගාබිම්වලට පත් කිරීම, අවශ්‍ය ප්‍රමාණයට වඩා මසුන් මැරීම ආදියෙන් පීඩා විඳින බවට වාර්තා තිබේ.

ග්‍රෑන්ඩ් බෙරෙබි හි අභිනවයෙන් නිර්මාණය කරන ලද ආරක්ෂිත කලාපයේ “සියලු කටයුතු කිරීම තහනම් වූ කලාපයක්, තිරසාර මසුන් මැරීමේ කටයුතු සහ ජීව-සංචාරක ව්‍යාපාරය සම්බන්ධ කටයුතු ප්‍රවර්ධනය කරන ජීව-සංවර්ධන කලාපයක්” සහිත බව අයිවරි කෝස්ට් හි පරිසර අමාත්‍ය ජෝසෙෆ් සේකා නිවේදනයේ කියා තිබේ.

මෙය නීතිමය ක්‍රියාදාමයක් තුළින් ඉදිරියේදී බලාත්මක වන්නට නියමිත ය.

ප්‍රධාන ඡායාරූපය – දැවැන්ත කොළ කැස්බෑවෙක් © Getty Images via Bloomberg



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි