මහ මැතිවරණයට සති කිහිපයක් තබා, වාමාංශික නැඹුරුවක් ඇති ඡන්ද දායකයන්ට ජසින්ඩා ආර්ඩන් ගේ ප්‍රබෝධවත්, නැවුම් ප්‍රවේශය නව පණක් ගෙන දෙන්නාක් මෙන් විය. මෙය කෙතරම් නවසීලන්තය පුරා ප්‍රචලිත වී ද යත් “ජසින්ඩා මේනියාව” (Jacindamania) යැයි වදනක් ද අලුතින් ම සාදන්නට එරට මාධ්‍ය පෙළඹුණහ.
මහමැතිවරණය 2017 සැප්තැම්බර් මාසයේ පැවැත්වුණු අතර, කම්කරු පක්ෂය මුළු ඡන්ද ප්‍රමාණයෙන් 37%ක් ද, ජාතික පක්ෂය 44%ක් ද ලබාගත්තේ ය. කිසිදු පක්ෂයකට නායකත්වය ගන්නට අවැසි වූ 50%ක ප්‍රතිශතය නොවූයෙන්, සුළුතර පක්ෂයක් සමග ඒකාබද්ධ වීම අනිවාර්‍ය විණ.
මසක් යනතුරු ජයග්‍රාහකයකු නොවිණි.
ඉන්පසුව, සම්ප්‍රදායික නවසීලන්තය පළමු පක්ෂයේ නායක වින්ස්ටන් පීටර්ස් තම පක්ෂය කම්කරු පක්ෂයත්, ලිබරල් හරිත පක්ෂයත් (ලිබරල් ග්‍රීන් පාටි) සමග එක්වන බව නිවේදනය කර සිටියේ ය.
ආර්ඩන් එය දැන ගත්තේ අනෙක් සියලු දෙනාත් සමග ය; ඇය අගමැතිනිය වන්නට යයි.
වසරකට පසුව, ඒ මොහොත ඇගේ සහකරුවා වන ක්ලාක් ට්විටර් පණිවුඩයක සටහන් කළේ මෙසේ ය: “වසරකට පෙර අද වැනි දවසක, වින්ස්ටන් පීටර්ස් සැම දෙයක් ම වෙනස් කළ අභීත තීරණයක් ගත්තා. අප සියලු දෙනා ම රූපවාහිනිය දෙස බලාගෙන සිටියා, එක ම වෙනස මගේ කැමරාව අනෙක් පසට (ජසින්ඩා වෙත) හැරැවී තිබුණා. එය කෙතරම් අපූර්ව වසරක් ද, අපේ ගමනට සාදරයෙන් පිළිගන්නවා.”
A year ago today @winstonpeters made a bold call that changed EVERYTHING. We watched on TV like everyone else, except I pointed a camera the other way. Here's a before and after thats never been seen.
What an incredible year it has been, what a year ahead.
Welcome to the ride. pic.twitter.com/ytjwajSzmn— Clarke Gayford (@NZClarke) October 19, 2018
වසර 150කටත් අධික කාලයකට පසු නවසීලන්තය පත් කර ගත් ළාබාලතම අගමැතිනිය වශයෙන් ද, ලෝකයේ ම නායකයන් අතර ළාබාලතමයකු වශයෙන් ද ජසින්ඩා ආර්ඩන් නවසීලන්තයේ අගමැති ධූරයට පත්වූයේ එ ලෙසිනි.
ඈ අගමැති ධූරයට පත්ව මාස දෙකක් ඉක්මවන්නට ද පෙර, 2018 ජනවාරි 19 වැනි දින, ඇය ඉන්ස්ටග්‍රෑම් වෙත ඡායාරූපයක් එක් කළා ය. මෙය අමුත්තක් නො වේ; ඇගේ ඡන්ද ව්‍යාපාරය පුරා ම ආර්ඩන් මැනැවින් සමාජ මාධ්‍ය භාවිත කළා ය. එහෙත් මේ ඡායාරූපය ලොව පුරා අවධානය දිනා ගන්නට සමත් වූයේ ඈ ඇය දරුවකු අපේක්ෂාවෙන් සිටින බව ඒ සමග හෙළිදරව් කිරීමත් සමගිනි.
“ක්ලාක් සහ මම ඉතා ම සතුටට පත්වනවා අපේ කණ්ඩායම දෙදෙනකු ගෙන් තුන්දෙනකුට විශාල වීම ගැන…” ඇය ලියුවා ය.
ආර්ඩන් දරුවකු අපේක්ෂාවෙන් සිටින බව සැල වූ විට විචාරකයෝ නිහඬ වූහ. එක වරම, තම නායිකාවට දරුවකු ලැබෙන්නට සිටින වග නවසීලන්තයේ සාමාන්‍ය දෙයක් බවට පත් විය. ඊට ආර්ඩන් ක්‍රියා කළ ආකාරය ද බලපාන්නට ඇත.
“මම දරුවකු බලාපොරොත්තුවෙන් සිටිනවා මිස, මට කිසිවක් කර ගත නොහැකි තත්ත්වයක් ඇතිව නැහැ,” ඈ 1News වෙත කිව්වා ය. “මට කළ නොහැකි එක ම දෙය පහතට නැමී සපත්තු දැමීම පමණයි”
2018 ජූනි 21 වැනි දින ඇය දරුවකු බිහි කළා ය. ඉන් මාස කිහිපයකට පසු, එක්සත් ජාතින් ගේ ප්‍රධාන සම්මේලනයට තම දරුවාත් සමග සහභාගි වූ ප්‍රථම රාජ්‍ය නායිකාව බවට ද පත්වූවා ය.
ඇයට පසුකාලීන ව මුහුණ පාන්නට සිදුවූ අභියෝග සමග සසදන විට ජසින්ඩා ආර්ඩන් ගේ ධුර කාලයේ මුල් වර්ෂය සිහිල් මද සුළගක් විය.
2019, මාර්තු 15 වැනි දා, නවසීලන්තය අත්දුටු පළමු ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වූයේ ලේ පිපාසිත ප්‍රහාරකයන් විසින් පුද්ගලයන් 51 දෙනකු මරා දමමිනි. මෙවැනි සිදුවීම් අතිශය කලාතුරින් වන නවසීලන්තය මේ ප්‍රහාරයෙන් සලිත වී ගියේ ය. ආර්ඩන් මීට මුහුණ දුන් ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය සිරස්තල අලුතින් ලියන්නට සමත් විණ.
ප්‍රහාරයෙන් පැය කීපයකට පසුව නවසීලන්තයේ තුවක්කු සම්බන්ධ නීති වෙනස් විය. තුවක්කුකරුවා ත්‍රස්තවාදියකු යැයි හැදින්වූ ආර්ඩන් ඔහුව නමින් හදුන්වා ඔහු බලාපොරොත්තු වන ප්‍රසිද්ධිය ලබා දීම ප්‍රතික්ශේප කළා ය. ඉන් නොනැවතී, හිජාබයක් පැළඳ මුස්ලිම් ප්‍රජාව සමග සිය ශෝකය බෙදා ගත්තා ය.
“ආර්ඩන් ඇගේ විශිෂ්ටත්වය පිළිබඳ පරීක්ෂණවලට මුහුණ දුන්නා” යැයි නවසීලන්තයේ දේශපාලන විචාරක බෙන් තෝමස් කියයි. “වැඩිවශයෙන් ම අවශ්‍යව තිබුණේ දයාව යි; ඇගේ දයානුකම්පිත බව අව්‍යාජයි.”
ඒ වසරේ ම අවසාන භාගයේ ඇය තවත් අර්බුදයකට මුහුණ පෑවා ය. සක්‍රීය ව තිබූ ගිනිකඳු සහිත දිවයිනක පිපිරීමක් ඇතිවූයේ ඉන් 21 දෙනකු මරණයට පත් කරවමිනි. ආර්ඩන් නැවතත්, ක්‍රියාත්මක වූවා ය.
මේ වසරේ මුල් භාගයේ, අනෙක් සෑම ලෝක නායකයකුට මෙන්, ජසින්ඩා ආර්ඩන්ට ද කොරෝනා වෛරස ව්‍යාප්තියට මුහුණ දෙන්නට සිදුවිණි. අනෙක් බොහෝ නායකයන් අධෛර්‍යමත් වන විට, වහා ම ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ඈ නැවතත් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගත්තා ය. මුල් අවධියේ ම, දේශසීමා වසා දමමින්, සහ ලොක් ඩවුන් තත්ත්ව ඇති කරමින් නවසීලන්තයේ කොරෝනා තත්ත්වය පාලනය කරන්නට ඈ කටයුතු කළේ රටේ ඉතා අඩු ආසාදිතයන් ගණනක් සිටින විට ය.
නවසීලන්තයේ ලොක් ඩවුන් තත්ත්වය යටතේ, රටේ ප්‍රධාන ම සෞඛ්‍ය නිලධාරියා සමග ආර්ඩන් ද දිනපතා ජාතික රූපවාහිනියේ පෙනී සිටියේ සෞඛ්‍ය විශේෂඥයන්ට සවන් දීමේ වැදගත්කම අවධාරණය කරමිනි. එවකටත් ජනප්‍රිය ව සිටි ඈ – මේ දිනපතා විකාශයත් සමග තව තවත් ජන හද දිනා ගත්තා ය.
ජාත්‍යන්තර තරු ගුණයක් තමා සතු කර ගෙන සිටියත්, ජසින්ඩා ආර්ඩන් තමා ද අනෙක් සියල්ලන්ගෙන් ම එක් අයෙක් බව පසක් කරමින් ජීවත් වන්නී ය.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි ඇගේ නිවසේ පසුපස කොටස සාදා ඇත්තේ ඇගේ සහකරුවා විසිනි. අනේක විධ දේශපාලනික පෝස්ටු අතර ඇගේ ඉන්ස්ටග්‍රෑම් පැතිකඩ දියණිය ගේ චිත්‍රයකට, ගෙදර හැදී කේක් ගෙඩියකට සහ ඇගෙ දෙමව්පියන් ගේ නිවසේ ඇති ඇගේ ලියන මේසයේ ඡායාරුවකට ද වෙන් වෙයි.
ඉතින් ජසින්ඩා, තවත් තුන් වසරකට ඔබට සුබ ගමන්..!
මෙම ලිපියේ පළමු කොටස මෙතැනින් කියවන්න..