×

පිළිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කරන හොලිවුඩ් රැජිණ ජේන් ෆොන්ඩා!

දේශගුණික විපර්යාස වලට එරෙහිව සටන් කළ ජේන් පිළිකාවට එරෙහිව ද සටන් කරන්නීය..


ඔස්කාර් සම්මානලාභී හොලිවුඩයේ රාජකීයත්වය හිමි රංගන ශිල්පිනී ජේන් ෆොන්ඩා තමා පිළිකා තත්ත්වයකින් පසුවන බව හෙළිකර තිබේ.

ඊයේ (02) දින තැබූ ඉන්ස්ටග්‍රෑම් සටහනකින් 84 හැවිරිදි සුපිරි හොලිවුඩ් නිළිය තහවුරු කර සිටියේ තමාට නන්-හොජ්කින්ස් ලිම්ෆෝමා (non-Hodgkin’s lymphoma) තත්ත්වය තිබෙන බවත්, එයට පහසුවෙන්ම ප්‍රතිකාර කළ හැකි බවත් ය.

එමෙන්ම, තමා දැන් මාස හයක රසායනික ප්‍රතිකාර හෙවත් කීමෝතෙරපි (chemotherapy) ආරම්භ කර තිබෙන බව ද ජේන් සැලකර සිටියාය. තව ද මෙම පිළිකා තත්ත්වය ඇතිවූවන්ගෙන් සියයට 80 ක් ම සුවය ලබා ඇති බවත්, තමාට සෞඛ්‍ය රක්ෂණයක් හිමි නිසා සහ හොඳම වෛද්‍ය කණ්ඩායමකින් ප්‍රතිකාර ලබන නිසා තමා වාසනාවන්ත යැයි හැඟෙන බව ද ඈ සිය ඉන්ස්ටග්‍රෑම් සටහනේ දක්වා සිටියාය.

රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේ ද දශක හයකට වඩා කාලයක් සිය රංගන ශ්‍රේෂ්ඨත්වය සනිටුහන් කළ ජේන් ෆොන්ඩා, ඇගේ සමකාලීනයන් බොහෝ දෙනෙකු සිනමාවෙන් විශ්‍රාම යද්දී, තවමත් සක්‍රිය අන්දමින් සිය රංගන කුසලතා පෙන්වමින් හොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන භූමිකාවක් ඉටු කරන්නීය. ඇගේ රූපශ්‍රීය බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වන්නේ, 84 වන වියේදී පවා ඈ තම රූසපුව අගනා අන්දමින් පවත්වා ගැනීම නිසාවෙනි.

1971 වර්ෂයේදී ඈ රඟපෑ ක්ලූට් (Klute) නම් චිත්‍රපටය සහ 1978 වර්ෂයේදී රඟපෑ කමිං හෝම් (Coming Home) නම් චිත්‍රපටය වෙනුවෙන් ඈ ඔස්කාර් සම්මාන ලබා ඇත.

මීට අමතරව ටෙලි නාට්‍ය රැසකට ඈ රංගනයෙන් දායකත්වය ලබා දී ඇත.

රංගන දිවියෙන් පරිබාහිරව ජේන් ෆොන්ඩා මහජන විකාශනය තුළ වඩාත් කැපී පෙනෙන චරිතයක් බවට පත්ව තිබෙන්නේ ඈ දේශගුණික විපර්යාස වලට අදාළ අධිවාචන කටයුතු කරන්නියක වීම නිසාවෙනි.

ඇගේ ඉන්ස්ටග්‍රෑම් සටහනින් ඈ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, තම පිළිකා තත්ත්වය කිසිසේත්ම තම දේශගුණික විපර්යාස අධිවාචනයට බාධාවක් කර ගැනීමට තමා කටයුතු නොකරන බවය.

නිහඬ ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් බවට පත්ව තිබෙන පිළිකාව සමඟ බොහෝ දෙනෙකු පොර බදින අතර, එම විරුවන් ගෙන් ඇතමෙකු අද වන විට අප අතර නොමැත. කලා ලොවේ ආසන්නතම අවස්ථාව වන්නේ ඉකුත් දින අප අතරින් සමුගත් කන්ට්‍රි ගීත කිරිල්ලිය වූ ඔලිවියා නිව්ටන් ජෝන් ය. මීට දශකයකට පමණ ඉහත හොලිවුඩයේ සරාගීම කාන්තාවක් වූ ෆේරා ෆෝව්සට් ද පිළිකා තත්ත්වයක් මත අප අතරින් සමුගත්තාය.

අප අවබෝධ කර ගත යුත්තේ පිළිකාව සමඟ පොර බදින සෑම පුද්ගලයකුම විරුවකු බවයි. ඒ අනුව ජේන් ෆොන්ඩා ද නිසැකවම පිළිකාවට එරෙහි විරුවෙකි.

හොලිවුඩ් රැජිණ ජේන් ෆොන්ඩාට අවුට්බවුන්ඩ් ටුඩේ අපි ද යහපත් සෞඛ්‍යයක් මෙන්ම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර සිටිමු.

ඡායාරූප: ඒපී / ජේන් ෆොන්ඩා ගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි