එසේ වී තිබෙන්නේ වසර 1,200 ක දන්නා ඉතිහාසය තුළ අසාමාන්‍ය ලෙස කලිනි. නමුත් මෙය පරිසර විශේෂඥයන්ට අනුව සුබ ලකුණක් නම් නොවේ. අති දැවැන්ත දේශගුණික අර්බුදයක පෙර ලකුණකි.
සකුරා මල්… පොකුරු පිටින් පූදින චෙරි මල්වලට ජපානයේ කියන්නේ එහෙම ය. ඒ සුදු සහ රෝස මල්, ගම් නගර සිසාරා, කඳුහෙල් සිසාරා සිය දහස් ගණනින් පිපේ. මද කලකින් පොළොව වැසී යන්නේ බිම පතිත සකුරා පෙතිවලිනි. ඒ කාලයට ජපන් ජාතිකයෝ විනෝද ගමන් යති. සකුරා ගස් යට සාද දමති. ඡායාරූප ගනිති. අඩුම වශයෙන් මේ වසන්තය දින කිහිපයක්වත් පැවතෙයි.
TOKYO, JAPAN – MARCH 21: (Photo by Clive Rose/Getty Images)
නමුත් අවුරුදු දහසකටත් වඩා වැඩි කලක් පවත්වාගෙන ආ සම්ප්‍රදාය සොබාදහම විසින් බිඳ දමා තිබේ. දින කිහිපයක්වත් පැවතිය යුතු මේ සකුරා වසන්තය,ඇසි පිය හෙළන පමණින් මෙවර අවසන් වී ඇත. තවද එය කලින්ම ආ වසන්තයකි.
ඔසාකා සරසවියේ පර්යේෂක යසුයුකි ආනෝ ක්‍රි. ව. 812 පටන්ම ඇති ඓතිහාසික ලියවිලි සහ දිනපොත් අධ්‍යයනය කර සොයාගත්තේ, කියොතෝ හි සකුරා මල්, මාර්තු 26 තරම් මෑතක පිපී තිබෙන්නේ වසර 1200 කට පසුව බවයි. මේ අතර තෝකියෝවේ සකුරා, මාර්තු 22 පිපුණේ ද පෙර නොවූ විරූ ලෙස ය.
Cherry blossoms are seen at Kitanomaru Park in Tokyo on March 23, 2021, (Photo by Philip FONG / AFP) (Photo by PHILIP FONG/AFP via Getty Images)
කොළොම්බියා සරසවියේ විද්වතුන්ට අනුව, මෙසේ වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ය. ‘‘ගෝලීය උෂ්ණත්වය ඉහළ යන විට අවසන් හිම තුහින දියවී මල් පිපීම ඉක්මන් වෙනවා..‘‘ යැයි ඔවුහු කියති.
සියවස් ගණනක් මුළුල්ලේ ජපානයට සකුරා පිපුණේ අප්‍රේල් මැද වන්නට ය. 1800 ගණන්වලදී පමණක් අප්‍රේල් මුල සකුරා පිපී ඇත. නමුත් මාර්තු මාසය තුළ එය මෑත ඉතිහාසයේ කිසි කලෙක සිදුව නැත.
සකුරා මල් තාපයට අති සංවේදී ය. එනිසා එය කියා දෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමේ නියතියයි.
මේ අතර International Journal of Biometeorology ද වසර සිය ගණනකට පසුව ජපානයේ සකුරා මල්, දින 10කට පෙර පිපී ඇති බව නිගමනය කරයි. කාර්මීකරණය සහ දේශගුණික වෙනස්කම් විසින් අකලට වසන්තය උද්දීපනය කර ඇති බව ට සැක නැත. නමුත් මේ සංසිද්ධිය, වඩාත් දැවැන්ත ගෝලීය අර්බුදයක් නමැති අයිස්බර්ගයේ, මතුපිටට පෙනෙන කුඩා කුට්ටියක් පමණකි.
(Photo by Charly TRIBALLEAU / AFP) (Photo by CHARLY TRIBALLEAU/AFP via Getty Images)
ශාක සහ කෘමීන් දැඩි ලෙසම එකිනෙකා මත රඳාපවතින්නන් ය. සිය ජීවන චක්‍රවල වෙනස් අවධීන් ගත කළ යුතු කාලයන් නිසි පරිදි අනෙකාගේ පිහිටෙන් කළමනාකරණය කර ගන්නවුන් ය. මෙය වසර මිලියන ගණනක් පැරණි නෑකමකි. උදාහරණයක් ලෙසට ශාකවලට තමන් අවට උණුසුම ඉහළ බව හැඟෙන විට එය අකාලයේ මල් පූදන්නට තීරණය කරයි. මේ හා සමානවම කෘමීහුද සිය ජීවන චක්‍ර තුළ උණුසුමට සංවේදී වෙති. ඉහළ උණුසුමක් ඇති විට උන්ගේ වර්ධන වේගය වැඩි වේ. එකෙකුගේ ජීවිතය අනෙකා මත රැඳේ. නමුත් දැන් මේ සහ-සම්බන්ධය වික්ෂිප්ත වීමට ඉඩ ඇත්තේ අකලට සියල්ල වෙනස් වීමත් සමග ය.
උදාහරණයක් ලෙසට අකලට පිපී විගස පරවූ සකුරා මල්වල රොන් ගෙන පරාගනය සම්පූර්ණ කිරීමට බොහෝ විට මෙවර කෘමීන් අසමත් වන්නට ඇත.
මේ වසරේ සකුරා මල් කලින් පිපුණේ ජපානයේ පමණක් නොවේ. ඇමරිකාවේ සකුරා පාරාදීසය ලෙස සැලකෙන වොෂින්ටන් DC හි ටයිඩල් ද්‍රෝණියේදි ද මෙයම දැකගන්නට ලැබුණේය. එහි සකුරා මල් පිපුණේ සතියකට පමණ පෙර ය.
සකුරා මල් ලෝක අවධානය දිනාගෙන ඇති නිසාත්, එහි කැපී පෙනෙන සුන්දරත්වයක් ඇති නිසාත් සැවොම සකුරා මල් අකලට පිපීම දකිති. නමුත් සෙසු ශාක විශේෂ ගණනාවක් ද මේ සන්තෑසියට ලක්ව තිබේ. මෙය ආහාර බෝගවලට ද පොදු ය. අකලට අස්වනු නෙළීමට ගොවීන්ට සිදුවනු ඇත. වෙළඳපොළ ඒ සඳහා සූදානමින් නොසිටිනු ඇත. එනයින් බලන විට ජපානයේ අකලට පිපුණු සකුරා මල්, අපට අනාගත ආහාර හිඟයක් ගැන ද ඉඟිකරනවා විය හැකිය.
මූලාශ්‍රය