×

වෙළඳ ගැටුම් මැද ජපානය දකුණු කොරියාවට ලීලය පායි!

ජපාන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ දෙරට අතර විරසක පසෙක ලා උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන් පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි.


ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අද (24) දින දකුණු කොරියානු අග්‍රාමාත්‍ය ලී නක්-යොන් මහතා සම්බන්ධ කර ගෙන තිබේ. එහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ දෙරට අතර ශක්තිමත් අසල්වාසී සබඳතාවක් පැවති බවත්, ඒ මත උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වැඩසටහන පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවය. 

වර්තමානයේ ජපානය සහ දකුණු කොරියාව අතර සබඳතා ඉතා දරුණු තත්ත්වයක පවතින බවත්, එය එසේ වර්ධනය වීමට ඉඩ නොතැබිය යුතු බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා හට වැඩිදුරටත් දන්වා සිටි බවට එරට රජය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. 

ජපානය සහ කොරියාව (උතුරු හා දකුණු) අතර වසර ගණනාවක් මුළුල්ලේ විවිධ කාරණා සම්බන්ධයෙන් ආරවුල් හටගෙන තිබේ. 1910 වර්ෂයේ ඇතිවූ ජපාන-කොරියානු ගිවිසුම සමඟ දෙවන ලෝක යුද්ධය අවසාන කිරීමට හේතුවූ 1945 ජපාන යටත් වීමේ ගිවිසුම (Japanese Instrument of Surrender) දක්වා කාලය තුළ කොරියාව පාලනය කරනු ලැබුවේ අධිරාජ්‍යවාදී ජපානය විසිනි. එහෙත් දකුණු කොරියාව 1965 වර්ෂය තෙක් ජපානය සමඟ වෙළඳ කටයුතු හෝ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබිණි. 

නූතන ජපානය සහ දකුණු කොරියාව ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් වන අතර බොහෝ සිසුන්, සංචාරකයින්, සහ ව්‍යාපාරිකයින් දෙරට අතර සංචාරය කරනු දක්නට ලැබේ. උතුරු කොරියාව ජපානය සමඟ දේශපාලන හා ආර්ථික සබඳතා වර්ධනය වී නොමැත.

කෙසේ වෙතත්, මෑත කාලයේ දෙරට අතර වෙළඳ ගැටුම් ඇවිලීයාම නැවත හට ගත්තේ බොහෝ ජපාන සමාගම් වල සේවය කළ ශ්‍රම වින්දිතයන් 10 දෙනෙකුට එකී සමාගම් වලින් වන්දි ලබාගැනීමට දකුණු කොරියානු ශ්‍රේෂ්ඨාධිකරණය 2018 වර්ෂයේ ඔක්තෝබර් හා නොවැම්බර් මස තීන්දුවක් ලබා දීමත් සමඟ ය.

මේ වන විට, එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ අතීත දෙවන ලෝක යුධ සමයේ දෙරට අතර පැවති ගැටුම් ද යළි ආවර්ජනය කරමින් මෙම නිහඬ වෙළඳ ගැටුම දිගින් දිගටම උත්සන්න වීමට පටන් ගෙන පවතී.

ජපාන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම තත්ත්වය වර්ධනය වීමට ඉඩ ලබා නොදිය යුතු බවත්, සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් බවත්, උතුරු කොරියාවේ දැනට පවතින න්‍යෂ්ටික අවි වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත් බවත් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි