×

Jayland Walker; එක් කළු මිනිසෙකුට එරෙහිව වෙඩි උණ්ඩ 46ක්

නැවත වරක් කළු ජාතිකයන්ට පහත් කොට සැලකීමේ සමාජ ප්‍රවණතාවය හා ඊට එරෙහිව ඔවුන්ගේ ප්‍රති විරෝධය ඇති වෙමින් පවතියි. නැවතත් ලොකය වර්ණ භේද වාදය පිළිබඳ සාකච්ඡා කරමින් ඇත.


පසුගිය ජූනි 27 වන දින ඇක්‍රන් හිදී ජේලන්ඩ් වොල්කර් නම් කළු ජාතිකයෙකුට ඔහිඔි පොලීසිය විසින් වෙඩි තබා මරා දමනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඔහුට වෙඩි උණ්ඩ 46ක පමණ ප්‍රමාණයක් එල්ල කර ඇති බවට වාර්තා වේ. ඔහුගේ වියෝව හේතුවෙන් දහස් ගණනක් වීදිබැස සිය ශෝකය ප්‍රකාශ කරන්නට වූ අතර මෙම වෛද්‍ය වාර්තාව පැමිණීමත් සමඟ ප්‍රදේශය පුරා හදිසි නීතිය පනවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

වෛද්‍ය වාර්තාවට අනුව ඔහුගේ හදවතට පෙනහළුවලට දැඩි ලෙස හානි සිදුවී ඇත. මාර්ග නීති කඩ කිරීමේ චෝදනාවක් මත ඔහු ලුහුබැඳගිය පොලීසිය මෙම මරණය සිදු කර ඇත. වෝල්කර් විසින් වෙස් මුහුණක් පැළඳ වාහන නවත්වන ස්ථානයකට පැන දුවන විට පොලීසිය විසින් විවිධ දිශාවන්ට වෙඩි තබන ආකාරය පොලිස් නිලධාරීන්ගේ කැමරා දර්ශන වල වේ. ඔහුගේ භීතිය උපදවන හැසිරීම හා පොලීසියට අවනත නොවීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කළ බව බලධාරීහු පවසති. කෙසේ වෙතත් වොල්කර්ගේ පවුලේ උදවිය හා නීතීඥයන් පවසන්නේ ඔහු නිරායුධ වැසියකු බවත් ඔහුට වෙඩි තැබීම අනුමත කළ නොහැකි දෙයක් වශයෙනි.

පොලීසිය විසින් වෝල්කර්ගේ රියදුරු අසුන අසල තිබී අත් කුවක්කුවක් හා එක් පතරොමක් සොයාගෙන ඇත. ඔහුගේ සිරුරේ තුවාල කැළලි 60ක පමණ ප්‍රමාණයක් දක්නට ලැබී ඇති අතර Summit County හි වෛද්‍ය පරීක්ෂක වෛද්‍ය Lisa Kohler පැවසුවේ එක් උණ්ඩයක් ඇතුළු වීමේදී තුවාල කිහිපයක් ඇති වීම සිදුවිය හැකි බවයි.

මෙම වෙඩි තැබීමට සම්බන්ධ සුදු ජාතික පොලිස් නිලධාරීන් හත් දෙනෙකු හා එක් කළු ජාතික නිලධාරියෙකු වැටුප් සහිත නිවාඩු යවා ඇත. සිවිල් අයිතිවාසිකම් සංවිධානයක් වන වර්ණවත් මිනිසුන්ගේ ප්‍රගමනය සඳහා වූ ජාතික සංගමය (National Association for the Advancement of Colored People) විසින් සිද්ධිය සම්බන්ධයෙන් ෆෙඩරල් පරීක්ෂණයක් ආරම්භ කර නිලධාරීන්ට දඬුවම් කළ යුතු බවට එක්සත් ජනපද නීතිපති මෙරික් ගාර්ලන්ඩ් වෙත සෘජු ඉල්ලීමක් කර ඇත. මේ සම්බන්ධයෙන් නිලධාරීන්ට නඩු පැවරීමේ සම්භාවිතාවය අඩු මට්ටමක පවතින බව කියැවේ. නමුත් නැවත වරක් කළු ජාතිකයන්ට පහත් කොට සැලකීමේ සමාජ ප්‍රවණතාවය හා ඊට එරෙහිව ඔවුන්ගේ ප්‍රති විරෝධය ඇති වෙමින් පවතියි. නැවතත් ලොකය වර්ණ භේද වාදය පිළිබඳ සාකච්ඡා කරමින් ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි