ප්‍රියංකා චොප්රා අන්තර්ජාතික තලයේ මහත් කීර්තියට පත්ව සිටින ජනප්‍රිය හින්දි නිළියක බව ප්‍රකට කරුණකි. 37 හැවිරිදි ඇය, ලෝක රූ රැජින ලෙස 2000 වසරේදී කිරුළු පැළඳූ සුරූපිනියයි.
නමුත් පසුගිය දිනවල ඉන්දියාව විසින් ජම්මු කාශ්මීරය අල්ලා ගැනීමේදී ඉන්දීය හමුදාව පසසමින් ඇය විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩ සහ ප්‍රසිද්ධ ප්‍රකාශ හේතුවෙන් පාකිස්ථානයේ නොසතුට ඇය වෙත එල්ල වී තිබේ.
ඒ අනුව යුනිසෙෆ් සංවිධානයේ සුහද තානාපතිනිය ධුරයෙන් ( UNICEF Goodwill Ambassador) ඇයව ඉවත් කළ යුතු බවට පාකිස්ථානය විසින් ඉල්ලීමක් කර ඇත. ඒ ඇය ‘යුද්ධයට සහාය පළ කිරීම‘ හේතුවෙනි. ජම්මු කාශ්මීරයේ පවතින ශෝකජනක තත්වය ඇය විසින් ‘විහිළුවක්‘ සේ සලකා ඇති බවට ද පාකිස්ථානය චෝදනා කරයි.
යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා හෙන්රිටා ෆෝ වෙත අන්තර්ජාල ලිපියක් වශයෙන් යවන ලද මෙම ලිපියේදී පාකිස්ථාන මානව හිමිකම් අමාත්‍ය ශ්‍රීන් මසාරි පවසා තිබෙන්නේ වහාම ඇයව මේ ධුරයෙන් ඉවත් කළ යුතු බව ය.
මේ සමගම ප්‍රියංකා චොප්රා පත්ව සිටින තත්වය ඔවුන් විස්තර කරන්නේ ‘අන්ධ දේශානුරාගයක්‘ ( jingoism) ලෙස ය.
මේ, ප්‍රියංකා චොප්රා විසින් පළ කළ එක් ට්විටර් සටහනකි. එයින් ඇය ඉන්දීය සන්නද්ධ හමුදාව ප්‍රශංසාවට ලක් කරයි.
මේ සම්බන්ධයෙන් පාකිස්ථාන මානව හිමිකම් අමාත්‍යාංශය පළ කළ ට්විටර් සටහන පහත දැක්වේ.
ප්‍රියංකා චොප්රා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා කටයුතු සම්බන්ධයෙන් ‘හිතහොඳ‘ තානාපතිනියගේ කාර්යභාරය ඉටු කරන්නේ ‘සාමය‘ වෙනුවෙන් විය යුතුය. අගෝස්තු මුල භාගයේදී ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව, ජම්මු කාශ්මීරය ඉන්දියාවට මෙන්ම පාකිස්ථානයට ද අයිති බව පවසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය ගළවා දමා ජම්මු කාශ්මීරය හුදෙක් ඉන්දීය භූමියක් ලෙස නම් කළේ සියලු සන්නිවේදන පහසුකම් කපා දමමින් සහ කාශ්මීරයට පූර්ණ ඇඳිරිනීතිය පනවමිනි.
ඒ සම්බන්ධව පළ වූ අවුට්බවුන්ඩ් ටුඩේ පෙර ලිපි සියල්ල මෙතැනින්…
පාකිස්ථානය පෙන්වා දෙන්නේ ඇයව වහාම මෙම ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම තානාපති තනතුර ‘ගෝලීය විහිළුවක් වීමට නියමිත බව‘ යි.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ ගැන උත්තරයක් දුන්නේය.
ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශකයා පැවසුවේ සුහද තානාපතිවරුන් අපක්ෂපාතී විය යුත්තේ ඔවුන් එම සංවිධානය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමේදී පමණක් බව ය!
‘‘ඔවුන් සිය පුද්ගලික වපසරිය තුළ අදහස් දක්වන විට ඔවුන්ට තමන්ගේ අභිලාෂය අනුව එය කළ හැකියි‘ යැයි ද ඔහු පැවසුවේය.
පුද්ගලිකව පක්ෂපාතී අයෙකුට සමාජ ජීවිතයේදී ඒ කරුණ සම්බන්ධයෙන් අපක්ෂපාතී විය හැකිද? පාකිස්ථානුවන් දැන් අසන ප්‍රශ්නය එයයි.
ප්‍රියංකා ඒ ගැන කීවේ මෙසේ ය.
“So, I have many, many friends from Pakistan and I am from India, and war is not something that I am really fond of, but I am patriotic. So, I’m sorry if I hurt sentiments to people who do love me and have loved me, but I think that all of us have a sort of middle ground that we all have to walk, just like you probably do as well.”
‘‘මට පාකිස්ථානයේ සහ ඉන්දියාවේ මිතුරන් රාශියක් සිටිනවා. යුද්ධය මා ‘ඉතා කැමති‘ දෙයක් නොවෙයි. නමුත් මම දේශානුරාගී කෙනෙක්. මම මගේ රටට ආදරෙයි. මට ආදරය කරන සහ කර තිබෙන අයට මා රිදෙවූවා නම් සමාවෙන්න. නමුත් අපි හැමෝම යම්කිසි මැද ස්ථානයක් සොයාගැනීමට අවශ්‍යයි. “
ප්‍රියංකා චොප්රා ඇමරිකානුවෙකු වූ නික් ජෝනාස් සමග විවාපත් වන විට එම විවාහ මංගලෝත්සවයට ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හට ආරාධනා කර තිබිණි.
මෝදි හෝ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය වෙනුවෙන් මැතිවරණ සමයේදී වේදිකාවලට නගින එකම නිළිය ප්‍රියංකා චොප්රා පමණක් නොවේ. මෝදි ඇජෙන්ඩාවට සරිලන පරිදි මේ වන විට ඉන්දියාව විසින් චිත්‍රපට ගණනාවක්ම නිපදවා ඇති බවත් එමගින් ‘මෝදි කල්ට් එකක්‘ “cult of Modi,” නිර්මාණය කර ඇති බවත් පවසන්නේ සමාජ විද්‍යාඥයෙකු වන කපිල් කොමිරෙද්දි ය. නමුත් මේ සියලුම නළු නිළියන්, කලා කරුවන් සහ දේශපාලනික අදහස් දක්වන්නන් සිටින්නේ ඉන්දියාවෙන්ම බිහිවූ අන්තර්ජාතික ලේඛිකාවක සහ ක්‍රියාකාරිනියක වන අරුන්දතී රෝයිට ගව් ගාණක් ඈතින් බව නොකියාම බැරි ය.
ලෝකයට සාමය සහ ප්‍රේමය පැතිරවිය හැකි තරමේ බලයක් සහ හඬක් ඇති මිනිසුන් අන්ධ දේශානුරාගයෙන් හෙවත් ජින්ගොයිසම්ව වලින් මත්වීම තරම් ඛේදවාචකයක් මේ ලොව තවත් නැත. උගතුන්, ධනවතුන්, බලවතුන්, දාර්ශනිකයන්, කලාකරුවන් වැනි ලෝකයට බලපෑම් කළ හැකි හැම කෙනෙක්ම ඉන්දියාවේදී වේවා, ලංකාවේදී වේවා මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ දේශානුරාගය සහ අන්ධ දේශානුරාගයේ සීමාව කොතැනකදැයි හඳුනා ගැනීමයි.