×

ඇමරිකානු ජනපති බයිඩන්ට නැවතත් කොවිඩ්!

එක්සත් ජනපති ජෝ බයිඩන් මහතා දෙවන වරටත් කොවිඩ් ආසාදනයට ලක්ව ඇති බව වාර්තා වේ.


බයිඩන් ජනපතිවරයාට ඊයේ (30) දින කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, ඊට සතියකට පෙර පරීක්ෂා කිරීමේදී කොවිඩ් ආසාදනය නොවී තිබූ බවයි එක්සත් ජනපද ධවල මන්දිරයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කෙවින් ඔ’කොනර් පවසන්නේ.

මෙම තත්ත්වය නැවත ආසාදනය වීම හෙවත් rebound තත්ත්වයක් විය හැකි බවත්, මෙසේ කොවිඩ් ආසාදනය වී සුවය ලබා නැවත ආසාදනය වීම ඇතැම් කොවිඩ් ආසාදිත පුද්ගලයන් අතර දක්නට ඇති බවත් වෛද්‍ය ඔ’කොනර් පවසයි.

මෙම තත්ත්වය ඇතිවන්නේ Paxlovid නම් ප්‍රතිවෛරස ඖෂධය ලබා ගත් පුද්ගලයන් හට බව සොයාගෙන තිබේ. එම ඖෂධයම බයිඩන් ජනපතිවරයා ද ලබා ගෙන තිබේ.

79 හැවිරිදි ජෝ බයිඩන් ඇමරිකානු ජනපතිවරයා කොවිඩ් ආසාදනයේ ලක්ෂණ පෙන්නුම් නොකළ බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අත තිබෙන බවත් ධවල මන්දිර වෛද්‍යවරයා තහවුරු කරන අතර, මෙම තත්ත්වය ඉතා සුළු ජන කාණ්ඩයක් අතර පමණක් පෙන්නුම් කරන තත්ත්වයක් බවත් වාර්තා වේ.

මේ වන විට තමාගේ මෙන්ම සෑම දෙනෙකුගේම ආරක්ෂාව පතා තමා හුදෙකලා වෙමින් සිටින බව බයිඩන් ජනපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියි.

මීට ඉහත බයිඩන් ජනපතිවරයාට කොවිඩ් ආසාදනය වී තිබූ අතර, එහිදී ඉතා සුළු රෝග ලක්ෂණ ඔහුට ඇතිවිය.

ඉකුත් මාස කිහිපය තුළ බයිඩන් පරිපාලනයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුටම කොවිඩ් ආසාදනය වූ අතර, ඒ අතර උප ජනපතිනි කමලා හැරිස්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි සහ නීතිපති මෙරික් ගාර්ලන්ඩ් ද විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි