×

හොංකොං උද්ඝෝෂණ වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරයක්!

තුවාල ලැබූ මාධ්‍යවේදියා ගේ නම් සඳහන් කිරීම එම පුවත් සේවය ප්‍රතික්ෂේප කර සිටියේය.


හොංකොං හි මතුව ඇති අර්බුදකාරී වාතාවරණයත් සමඟ අද (07) දින එම නගරයේ ගුවන්විදුලි රූපවාහිනී නිවේදන කටයුතු හා සම්බන්ධ මාධ්‍යවේදියකුට එල්ල කළ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබ රෝහල් ගත කොට තිබේ.

හොංකොං නගරයේ දියත් වී ඇති විරෝධතා හා නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ වාර්තා කිරීමට පිවිසි මෙම මාධ්‍යවේදියා වෙත එල්ල වූ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාරය නිසා ඔහුගේ හිස සහ ගෙල ප්‍රදේශය පිලිස්සීමට ලක්වී ඇත. 

එමෙන්ම එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඔහුගේ මුහුණ ප්‍රදේශයටද සුළු තුවාල ඇතිවූ බවත් මේ වන විට රෝහල් ප්‍රතිකාර ලබමින් සිටින බවත් හොංකොං ප්‍රධාන ගුවන්විදුලි හා රූපවාහිනී සේවය වන RTHK වාර්තා කළේය. 

කෙසේවෙතත්, තුවාල ලැබූ මාධ්‍යවේදියා ගේ නම් සඳහන් කිරීම එම පුවත් සේවය ප්‍රතික්ෂේප කර සිටියේය.

අදාල සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවන් රොයිටර් පුවත් සේවයට දන්වා සිටියේ මෙම මාධ්‍යවේදියා විරෝධතා සිදුවූ කලාපයට යාමත් සමඟ විරෝධතා වල නියලුණු එක් පුද්ගලයකු විසින් ඔහු වෙත පෙට්‍රෝල් බෝම්බයක් එල්ල කළ බවයි. 

මේ අතර RTHK පුවත් සේවයේ මාධ්‍යප්‍රකාශක පවසා සිටියේ අදාල මාධ්‍යවේදියා අනතුර සිදුවූ මොහොතේ හෙල්මටයක් පැළඳ සිටි නිසා බරපතල හානි සිදු නොවූ බවයි. 

මාස ගණනක් පුරාවට හොංකොං නගරයේ දියත් වූ විරෝධතා දාමයේ පසුගිය සති අන්තයේ ආරම්භ වූ විරෝධතා ව්‍යාපාරය අතරතුර මෙම සිදුවීම හට ගෙන ඇත. පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර සහ බැටන් පොලු ප්‍රහාර එල්ල කළ අතර, විරෝධතාකරුවෝ දිගින් දිගටම ගඩොල් සහ පෙට්‍රෝල් බෝම්බ ප්‍රහාර පොලිසිය වෙත එල්ල කළහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි