ඉකුත් මැයි මස සිදුවූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතික පුද්ගලයා ගෙල සිර කර මරා දැමීමට වගකිව යුතු මිනියාපොලිස් හිටපු පොලිස් නිලධාරී ඩෙරෙක් චෝවින් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තියේ නීතීඥයින් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.
හෙනෙපින් කලාප අධිකරණ විනිසුරු පීටර් කහිල් විසින් මෙම මෝසම ප්‍රතික්ෂේප කොට තිබේ.
විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ එරික් නෙල්සන් අධිකරණය ඉදිරියේ තර්ක කර සිටියේ පැමිණිලිකාර පාර්ශවයේ නීතීඥයින් විසින් අදාළ සිදුවීමට ඩෙරෙක් නම් හිටපු පොලිස් නිලධාරියා වරදකරු යැයි ඔප්පු කර නොමැති පසුබිමක තම සේවාදායකයා අදාළ චෝදනා වලින් නිදහස් විය යුතු බවයි.
රජය පාර්ශවයෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් බහුවිධ විශේෂඥ කණ්ඩායම් වලින් අදහස් ලබා ගෙන ඇති අතර, ඒවා එකිනෙක පරස්පරතාවයක් දක්වන සන්දර්භයක, විත්තියට එරෙහිව ගොනුකරනු ලබන චෝදනා පිළිගත නොහැකි බවත්, එම හේතුව නිසාවෙන් තම සේවාදායකයා නිදොස් කොට නිදහස් කරන මෙන් නෙල්සන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේවෙතත්, මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා අවධාරණය කරනු ලැබුවේ සිදුවීමට අදාළ සියළු සාක්ෂිකරුවන් ලබා දුන් ප්‍රකාශ හමුවේ
– විත්තියේ සැකකරු සිදුකරන ලද ක්‍රියාව අවස්ථානුකූලව නුසුදුසු බව පසක් වන බවත්,
– ඩෙරෙක් විසින් සිදුකළ ක්‍රියාව මිනියාපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති පුහුණු වලට අනුකූල නොවන බවත්,
– පොලීසියේ ක්‍රියාදාමයන් ට අනුව ඔහු හැසිරී නොමැති බවත්,
– අදාළ මොහොතේ දී බලය යොදවූ අන්දම කුමන අවස්ථාවකදී වූවද නොගැලපෙන බවත්
තහවුරු වන බවය.
ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය වර්ගවාදය මත පදනම් ව සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් බවට අර්ත දැක්වීම මත ඉකුත් වසරේ එක්සත් ජනපදයේ වර්ගවාදයට එරෙහි කතිකාවත උණුසුම් විය.
මේ අතර, මේ හා සමානම මනුෂ්‍ය ඝාතනයක් ඉකුත් ඉරු දින මිනසෝටා හි මාර්ග බාධකයක් අසළ සිදුවූ අතර, එහිදී පොලිස් වෙඩි පහරින් මරණයට පත්වූයේ ඩොන්ටේ රයිට් නම් විසි හැවරිදි කළු ජාතික තරුණයෙකි.