×

ලෝක සංචාර නොතකා තම සෞඛ්‍යය ගැන හිතන “JB “

"මට විවේක ගැනීමට සහ ඉක්මන් සුවයට කාලය අවශ්‍ය යි." -JB


ලොවක් ගායනයෙන් මුසපත් කරවූ තාරුණ්‍යයේ හඬක් ඇති ඔහු නමින් “JB ” නොහොත් Justin Bieber ය. 1994 මාර්තු මස පළමුවන දින කැනඩාවෙහි උපත ලද ඔහු තම ගායන දිවියට මුලපුරන්නේ තමා 13 වන වියෙහි පසුවන විට ය. එකළ සිට මේ දක්වා රසික හදවත් තුළ තමාගේ සන්නාමය සනිටුහන් කළ මොහු ගීත රාශියක හිමි කරුවෙකි. තරුණියන්ගේ මනා ආකර්ශනයට පත් මොහු විවාහ වන්නේ Hailey Baldwin සමඟ ය. නමුත් වර්තමානය වන විට ඔහු තම ගායන දිවියට යම් විවේකයක් ලබා දී ඇති බව පෙනේ. ඔහුගේ අහිතකර සෞඛ්‍ය තත්ත්වය මෙයට සෘජුවම බලපෑමක් ඇති කොට ඇත.

මොහු ලොව සිසාරා තම ප්‍රසංගයන් ආදියට සහභාගී වූ නමුත් මෑතක සිට ලෝක සංචාර අත්හිටුවීමට ද තීරණය කර ඇත. ඒවා පසෙකලා ඔහු තම ශරීර සෞඛ්‍යය පිළිබඳ වැඩි අවධානයක් ලබා දෙන බව වැඩිදුරටත් සඳහන් කරයි.

“මට විවේක ගැනීමට සහ ඉක්මන් සුවයට කාලය අවශ්‍ය යි.” -JB

ඔහු සමාජ මාධ්‍ය ජාලාවන්ගෙන් ඉන්ස්ටග්‍රෑමය හරහා මේ පිළිබඳ දැනුවත් කර ඇත.

පළමුවරට මේ හා සමානව ම ඔහු රෝගීව සිටින බවට ද ඉන්ස්ටග්‍රෑම් Reel එකක් ඔස්සේ මෙම වසරෙහි ජූනි මාසයෙහි ප්‍රකාශ කළේ ය. එහි වැඩිදුරටත් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ ව ද සඳහන් කර තිබුණි. ඔහුට (Ramsay Hunt syndrome) නම් රෝගී තත්ත්වය ඇති බවට සඳහන් කර තිබේ. මෙය මුහුණේ කන ප්‍රදේශයෙහි ස්නායු තුළ හට ගන්නා රෝගී තත්ත්වයක් නිසා මුහුණෙහි අංශභාග තත්ත්වයක් වුවද ඇති විය හැක.

ඔහු පළ කරන ලද වීඩියෝවෙහි ද ඔහුගේ මුහුණෙහි එක් අංශයක ඇතිව ඇති එම තත්ත්වය පිළිබඳ ව මොහු වැඩිදුරටත් පෙන්නුම් කර තිබුණි.


ඔහු අවසන් වතාවට බ්‍රසීලයේ ප්‍රසංගයකට සහභාගී වීම ද ඉන් අනතුරුව තාවකාලිකව වේදිකාවට සමුදෙන බව ද කීවේ ය. මෙහි දී ඔහු තමාගේ ප්‍රථම රාජකාරිය තම සෞඛ්‍යය බව පවසා එයට මූලිකත්වයක් දෙන බව ප්‍රකාශ කළේ ය. වර්තමානය වන විට ඔහු සුවය ලබමින් පසු වුව ද ඔහුට විවේක ගැනීම අවශ්‍ය වී ඇත්තේ තමා මනාව සුව විය යුතු බව පසක් කරමිනි.

ඉතින් “JB” ඔබට ඉක්මන් සුවය සහ වේදිකාවට නැවුම් ජීවයක් ලබා දෙමින් නැවතත් කරළියට එන්නට ආරාධනා කරමු!

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි