ඇමරිකානු භටයන් අවම වශයෙන් 13 දෙනෙක් පමණ ප්‍රහාරයේදී මිය ගිය අතර, 2011 න් පසු තනි සිද්ධියකදී වැඩිම ඇමරිකානු භටයන් පිරිසක් ඝාතනය වූ අවස්ථාව ලෙස කාබුල් බෝම්බය ඉතිහාසගත වේ.
‘‘මේ ප්‍රහාරය කළ අයට වගේම, ඇමරිකාවට හානි කරන්න බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙක් මේක දැනගන්න ඕනෙ.. අපි සමාව දෙන්නෙ නෑ. අපි අමතක කරන්නෙ නෑ..‘‘ යැයි බයිඩන් පැවසුවේය.
‘‘අපි නුඹලාව දඩයම් කරනවා. කළ දෙයට ගෙවන්න සිද්ධ කරනවා. අපේ ජනතාවගේ අභිලාෂයන් අපි රැක ගන්නවා මගේ නියෝග යටතේ ගන්නා සෑම පියවරකින්ම..‘‘
2020 පෙබරවාරි මාසයේ සිට ඊයේ දිනය වන තෙක්, ඇමරිකානු භටයෙක් ඇෆ්ගනිස්ථාන මෙහෙයුම්වලදී මිය ගොස් තිබුණේ නැත.
ඇෆ්ගනිස්ථාන ගැටළුවට සිත යොමු කිරීම සඳහා ඊයේ දිනයේ බයිඩන් තම සියලු කාර්යයන් කල් දමා තිබිණි. ඊශ්‍රායල් අගමැති නැෆ්තලි බෙනට් හමුවීමට නියමිත ව තිබුණේ ඊයේ දිනයට ය.
ත්‍රස්ත ප්‍රහාරයට පරාජය නොවන බවත්, ගළවා ගැනීමේ කටයුතු දිගටම සිදු කරන බවත් බයිඩන් තවදුරටත් පැවසුවේය.
ඇමරිකාව මේ වන විට සිවිල් වැසියන් ලක්ෂයක් දෙනා ඇෆග්නිස්ථානයෙන් මුදා ගෙන ඇත.
විචාරකයන් විසින් ඇෆ්ගනිස්ථානයෙන් භටයන් ඉවත් කර ගැනීමෙන් ඇති වූ තත්වය සමාන කරන්නේ ජෝ බයිඩන් සිය පළමු ධුර කාලයේදී මුහුණ දෙන විශාලතම අභියෝගය ලෙස ය.
ඔහුගේ ජනප්‍රියතාවය 60%කින් පහළ බැස ඇති බව පසුගිය සතියේ ප්‍රධාන පුවත් සේවාවන් විසින් සිදුකළ ජන මත විමසීම්වලින් හෙළි වී තිබිණි.
මේ වන විට රිපබ්ලිකන් විපක්ෂයේ දැඩි දෝෂදර්ශනය ද ජෝ බයිඩන් වෙත එල්ල වෙමින් තිබේ.
ඇතැම් රිපබ්ලිකන් නායකයෙකුට අනුව භටයන් ඉවත් කර ගැනීමේ අවසන් දිනය වන අගෝස්තු 31 දාට පෙර කථානායිකා නැන්සි පෙලොසි විසින් කොංග්‍රසය රැස් කළ යුතුව තිබේ.
කෙසේ නමුත් අමතක නොකළ යුතුව තිබෙන්නේ මේ යුද්ධය හෝ ඇමරිකානු භටයන් ඉවත් කර ගැනීම ජෝ බයිඩන්ගේ තීරණ නොවන බවයි. ඇමරිකානු භටයන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට අදාළ දෝහා ගිවිසුම කටාර් රාජ්‍ය යේදී අත්සන් කෙරුණේ තලෙයිබාන් සංවිධානය සහ හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ය.
තවද 2001 වසරේ පටන් මේ දක්වා සිදුකෙරෙන ඇෆ්ගන් යුද්ධය, රිපබ්ලිකන් ජනාධිපතිවරුන් දෙදෙනෙක් සහ ඩිමොක්‍රටික් ජනපතිවරුන් දෙදෙනෙක් මුහුණ දුන් යුද්ධයයි. 4 වැන්නා ජෝ බයිඩන් වන අතර, එය 5 වැන්නෙකු වෙත පාස් නොකරන බවත් ඊයේ සිය කතාවේදී ජෝ බයිඩන් පැවසුවේය.
Four presidents have presided over an American troop presence in Afghanistan—two Republicans and two Democrats. We will not pass this war onto a fifth. pic.twitter.com/d5kIcw27h8
— Joe Biden (@JoeBiden) August 17, 2021