×

කෙන්යාවේ මොම්බසා වරාය චීනයට සින්න වෙන හැටි මෙන්න!

කෙන්යාවේ ප්‍රධානම වරායක් වන මොම්බසා වරාය, චීනයෙන් ගත් ණය ගෙවාගත නොහැකිව චීනයට සින්න වීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් වාර්තා පවසන අතර, කෙන්යාවේ විගණකාධිපති වාර්තාවකින් ඒ බව තහවුරු වේ.


මොම්බසා වරාය (Port of Mombasa) ඇපයට තබමින් කෙන්යාව ලබාගෙන තිබෙන්නේ චීනයේ රාජ්‍ය බැංකුවක් වන එක්සිම් (China Exim Bank) හෙවත් එක්ස්පෝට්-ඉම්පෝට් බැංකුවෙන් අති දැවැන්ත ණය මුදලකි.

චීන එක්සිම් බැංකුවේ ඒකාධිකාරය

ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක ණය මුදලක් චීන එක්සිම් බැංකුව හරහා ඔවුන් ලබාගෙන තිබෙන්නේ කෙන්යා දුම්රිය සමාගම (Kenya Railways Corporation (KRC)) සඳහා ය. මෙම ණය මුදල ලබාදීමේ එක් කොන්දේසියක් වන්නේ මොම්බසා වරාය සහ එහි සියලු වත්කම්, කෙන්යාවේ පරමාධිපත්‍ය බලයට යටත් නොවන ඇපකරයක් බවට පත් කිරීමයි. ඒ බව ණය ගිවිසුමේ කොන්දේසිවල පැහැදිලිව සඳහන් වේ.

වරාය ඇපයට තබා KRC සමාගම ඩොලර් බිලියන ගණනක් ලබාගෙන තිබෙන්නේ මොම්බසා-නයිරෝබි දුම්රිය මාර්ගයක් තැනීම සඳහා ය. මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සේවා සපයා තිබෙන්නේ ද China Roads and Bridges Corporation (CRBC) චීන සමාගමක් වන විසිනි. මෙම සමාගම ද, චීන රජයට අයත් China Communications Construction Company (CCCC) ට අනුබද්ධිත ය.

කෙන්යාවේ විගණකාධිපති එෆ්.ටී. කිමානි ප්‍රකාශ කරන ආකාරයට, චයිනා එක්සිම් බැංකුව වෙත කෙන්යාවට තිබෙන ණය වාරික, පොරොන්දු වූ පරිදි ගෙවීමට නොහැකි වන්නේ නම්  මොම්බසා වරාය චීනයේ දේපළක් බවට පත්වනු ඇත.

බඩුත් හාමුදුරුවන්ගේ – නඩුත් හාමුදුරුවන්ගේ

එසේම, චයිනා එක්සිම් බැංකුව සමග යම් වාණිජ ආරාවුලක් ඇති වුවහොත්, එය සමථකරණය කර ගැනීමේ කාර්යාවලිය කළ යුතුව තිබෙන්නේ කෙන්යාවේ නොව චීනය තුළදී ය. විගණකාධිපතිවරයා පවසන්නේ, මෙම කොන්දේසිය කෙන්යාවේ මූල්‍ය ලේඛනවල පවා දක්වා නොතිබුණු නමුත් ගිවිසුම ප්‍රකාරව එය එසේ වන බවයි.

මෙයට අදාළ නිල වාර්තාව මේ වනවිට ප්‍රසිද්ධ කර නැතත්, ට්විටර් හරහා එම වාර්තාවේ පිටු සමාජ ජාල ගත වීම හරහා මේ බව හෙළි වී තිබේ.

John Githongo / Twitter

අපි තව ණයක් අරන් මේ ණය ගෙවනවා – කෙන්යාව කියයි

මේ අතර, මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කෙන්යා වරාය අධිකාරියේ සභාපති ඩැනියෙල් මැන්ඩුකු (Daniel Manduku) මෙසේ කියයි. ‘‘අපිට ණය වාරිකය ගෙවන්න පුළුවන් බව විශ්වාසයි. වරාය නැති වෙන්නෙ නෑ, අපිට වෙන ණයක් අරගෙන වුණත් මේ ණය ගෙවන්න පුළුවන්!“

චීනය, අප්‍රිකාව පුරාම

අප්‍රිකා මහද්වීපයේ දුප්පත්ම රට වන කෙන්යාව පුරා මේ වන විටත් පැතිරී ඇත්තේ චීන අණසකයි. මඩරාකා එක්ස්ප්‍රස් යනු, නයිරෝබි සහ මොම්බසා යන නගර යා කරමින් තැනෙන මගී සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ගයයි. එහි ඉදිකිරීම්, අධික වැය හේතුවෙන් මේ වන විට අඩාල වී තිබේ. එම ව්‍යාපෘතියෙන් 80%කටම මුදල් සැපයූවේ චීනය විසිනි.

පසුගිය මාසයේ කෙන්යාවේ ආචාර ධර්ම සහ දූෂණ විරෝධී කොමිෂන් සභාව (Ethics and Anti-Corruption Commission (EACC)) විධායකයන් හත් දෙනෙක් අල්ලස් චෝදනාව මත අත්අඩංගුවට ගත්තේය. ඔවුන්, මොම්බසා වරාය ඇපයට තබමින් ඉදිකෙරෙන ඉහත කී දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මුදල් සැපයූ චීන රජයට අයත් CRBC සමාගමේ විධායක නිලධාරීන් ය. මේ අතරින් 4 දෙනෙක් කෙන්යානුවන් වන අතර, 3 දෙනෙක් චීන ජාතිකයන් ය. SGR දුම්රිය ව්‍යාපෘතියේදී සිදුවූ දූෂණ ගැන සොයන නිලධාරීන්ට අල්ලස් ලබාදීමට ඔවුන් විසින් උත්සාහ කර තිබේ!

අප්‍රිකාවේම තවත් නොදියුණු රටක් වන සැම්බියාව තුළ ද මේ වන විටත් චීනය සිය අණසක පතුරුවාගෙන ඇත. සැම්බියාවේ ජාතික විදුලි බල සැපයුම් සමාගම මෙන්ම සැම්බියානු ජාතික විකාශන ආයතන ද මේ වන විට පවතින්නේ චීන හිමිකාරිත්වය යටතේ ය.

චීනයේ උපාය මාර්ගික වරාය කේන්ද්‍ර අතර ශ්‍රී ලංකාවත්

මේ වන විට කෙන්යාවේ මේ පිළිබඳ පළවන මාධ්‍ය වාර්තාවල පවා බොහෝ විට අවසන් ඡේදයේ සඳහන් වන්නේ ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික කේන්ද්‍රස්ථානය වශයෙන් චීන ව්‍යාප්තවාදය තුළ ශ්‍රී ලංකාවට අත්වෙමින් යන ඉරණමයි. උදාහරණයක් වශයෙන්, www.maritime-executive.com හි මේ පිළිබඳ පළවන ලිපියේ අවසන් ඡේදයේ සිංහල පරිවර්තනය මෙසේ ය.

‘‘උපාය මාර්ගික මුහුදු වරායක් චීනයට යා කර ගැනීම සම්බන්ධයෙන් කෙන්යාවේ ගැටළුව, ලෝකයේ කොතැනකත් දැකගත හැකි පූර්ව නිදර්ශනයකි. 2017 දෙසැම්බරයේදී ශ්‍රී ලංකාව, අලුත ඉදිකළ හම්බන්තොට වරාය, චීන ණයකරුවන්ගේ සුවිශේෂී ණය ප්‍රමාණය තෘප්ත කිරීම සඳහා චීනයට පවරා දුන්නේය…“

ලංකාව චීන කොලනියක් කරන්නට මුල පිරුවේ කවුද?

මූල්‍යමය වශයෙන් අහේනි තත්වයක පසුවන සහ, චීනයට උපාය මාර්ගික වශයෙන් නාවික කේන්ද්‍රස්ථානයන්හි පිහිටා තිබෙන දුප්පත් රටවල් ඉලක්ක කර ගනිමින් චීන ජනපති ෂී ජින් පින් Belt and Road Initiative නමැති ආයෝජන ණය වැඩසටහන ලොව පුරා ක්‍රියාත්මක කරමින් සිටියි. බොහෝ විට එහි අවසන් ප්‍රතිඵලය වන්නේ චීන ණය උගුලක එම රටවල් හසු කිරීම සහ, අධිකතර දූෂණයයි.

හම්බන්තොට වරායට අත් වූ ඉරණම, ලංකාවෙන් දැනට මේ සඳහා සැපයිය හැකි පැහැදිලිම උදාහරණයයි. චීනය මුලින්ම මේ වරාය ව්‍යාපෘතිය ගෙන ගියේ ඉන්දියාවට ය. ‘‘ඔවුන් වරාය ව්‍යාපෘතිය ආරම්භයේදීම අප වෙත ආවා. එවිට ඉන්දියානු සමාගම් එය ප්‍රතික්ෂේප කළා“ යැයි හිටපු ඉන්දීය විදේශ ලේකම් ශිවෂංකර් මෙනන් පවසයි. ‘‘එ්ක එදත් ආර්ථික වශයෙන් පුස් වෙඩිල්ලක්. දැනුත් පුස් වෙඩිල්ලක්“

මේ පුස් වෙඩිල්ල, හම්බන්තොටදී පත්තු විය.

26 වසරක සිවිල් යුද්ධය නිම කිරීමෙන් පසු එල්ල වූ විශාල මානව හිමිකම් චෝදනා සහ රාජපක්ෂ පාලනය ඒවාට ප්‍රතිචාර දැක්වූ අමනෝඥ විලාසය සමග 2009 වසරේ පටන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් දැඩි සේ හුදකෙලා වීමේ නියත ප්‍රතිඵලය වූයේ, චීනය සමග හාදකම් පැවැත්වීමට සිදුවීමයි. ඒ වන විටත් ආණ්ඩුවේ සමස්ත වියදම්වලින් 80%ක් පාලනය කරමින් සිටියේ රාජපක්ෂ සහෝදරයන්ගේ ‘සහෝදර සමාගම‘ විසින් වූ අතර, චීනය සමග සෘජු ව මේ පිළිබඳ කතා බස් කළේ ද ඔවුන් ය.

හම්බන්තොට වරාය ව්‍යාපෘතියට ණය දුන්නේ කෙන්යාවේ මොම්බාසා වරාය ඇපයට තබාගත් චීනයේ එක්සිම් බැංකුවම ය. එහි එක් කොන්දේසියක් වූයේ බෙයිජිං හි චයිනා හාබර් සමාගමට වරායේ ඉදිකිරීම් භාරදිය යුතු බවයි. මේ අනුව කෙන්යාවේත් ලංකාවේත් සිදුවූයේ එකම කතාන්දරයයි!

මෙම ගනුදෙනු හම්බන්තොට වරායෙන් නොනැවතී මත්තල ගුවන් තොටුපොළ, නෙළුම් කුලුන, අධිවේගී මාර්ග යනාදී වශයෙන් ව්‍යාපෘති ගණනාවක් දක්වා දිවෙයි.

අවසානයේ 2015 වසරේදී අති මහත් ණය කන්දක් බාර දී රාජපක්ෂලා නිදුකින් ගෙදර ගියහ. ඉන්පසුව සිදුවූ දේ සියල්ලෝම දනිති. දැඩි පීඩනයක් යටතේ සහ චීනය සමග නැවත නැවතත් කතා කිරීමෙන් අනතුරුව 2017 දෙසැම්බරයේදී ආණ්ඩුව අක්කර 15,0000 ක් සමග අවුරුදු 99 ක් සඳහා හම්බන්තොට වරාය චීනයටම භාර දුන්නේ, ණය ගෙවිය හැකි අන් මගක් නොපෙනුණු නිසා ය. මේ භාරදීමත් සමග චීනයට පසමිතුරු ඉන්දියාවට සැතපුම් දෙතුන් සියයක් පමණක් දුරින් පිහිටි අක් වෙරළ භූමි භාගයක් සහ තීරණාත්මක වාණිජ හා හමුදාමය ජල තීරයක් පාලනය කිරීමේ අයිතිය චීනයට ලැබිණි!

ජෝන් ඇඩම්ස්ගේ කුප්‍රකට කියමන අනුව ‘කඩුවෙන් හෝ ණය දීම මගින්‘ රටක් යටත් කර ගන්නට පුළුවන. චීනය තෝරාගෙන තිබෙන්නේ දෙවැනි ක්‍රමයයි. නමුත් දැන හෝ නොදැන හසුවූ උගුලෙන් රටට කෙසේ වෙතත් රාජපක්ෂවරුන්ට පාඩුවක් වූ බවක් නොපෙනේ. ඒ බවට, තීරණාත්මක 2015 මහමැතිවරණ සමයේදී රාජපක්ෂ ගිණුම්වලට බැර වූ චීන ධනස්කන්ධයෙන් මනාව පෙනේ.

ඒ අනුව, මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවේ තිබෙන චයිනා හාබර් ගිණුමෙන් බැරවිය.

‍2015 මැතිවරණය ආරම්භ වීමට දින 10 ක් තිබියදී ඇමරිකානු ඩොලර් මිලියන 3.7 ක් චෙක්පත් මගින් ලබාදීම සිදුවිය. එයින් ඩොලර් 678,000 ක් කැම්පේන් ටී ෂර්ට් සහ වෙනත් ප්‍රචාරණ අමුද්‍රව්‍යවල මුද්‍රණ කටයුතු සඳහා වන අතර, ඩොලර් 297,000 ක් ආධාරකරුවන්ට හා ආධාරකාරියන්ට සාරි ඇතුළු තෑගි භාණ්ඩ මිලදී ගැනීම සඳහා ය. තවත් ඩොලර් 38,000 ක් රාජපක්ෂගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරමින් සිටි ජනප්‍රිය බෞද්ධ භික්ෂුවකට ගෙවා ඇත. එකතුව ඩොලර් මිලියන 1.7 ක් වටිනා චෙක්පත් දෙකක් රාජපක්ෂ පදිංචි ව සිටි අරලියගහ මන්දිරයේ ස්වෙච්ඡාවෙන් වැඩ කළ අය වෙත ලබාදී තිබේ. එම ගෙවීම්වලින් බහුතරය සිදුකර තිබෙන්නේ චයිනා හාබර් ගිණුම විසින් පාලනය කරන උප ගිණුමකිනි. එහි නාමය, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය හඳුන්වන කෙටි නාමය වන HPDP Phase 2 ය.

නිල සහ නිල නොලත් වාර්තාවලට අනුව ලංකාව මේ වන විට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් පමණ චීනයට ණය ය.

පෙර ලිපි-
චීන ණය මකරා සමග මහින්දගේ ආලිංගනය (නිව්යෝක් ටයිම්ස් ලිපියේ සිංහල පරිවර්තනය)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි