×

මී පුප් ලදිමි – දරු නොලදිමි : කළු කඩයේ දරුවන් විකිණූ කෙන්යානු මවුන්ගේ කඳුළු කතාව

පසුගිය මාසයේ අපි, BBC අප්‍රිකානු ඇස විසින් අනාවරණය කරන ලද කෙන්යාවේ නයිරෝබි නුවර සිදුවන දරු වෙළඳාමක් පිළිබද පුවතක් ඔබ වෙත ගෙන ආයෙමු.


ඒ ලිපිය BBCහි පළවනවාත් සමගම පොලිසියෙන් මේ වෙළඳාම්වලට සම්බන්ධ සත් දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. එහෙත් මේ නීතිවිරෝධී වෙළඳාම් පිටුපස සිටින කාන්තාවන් ගේ කතාන්දරය කෙබදු ද? මවකට තම දරුවා විකුණාදමන්නට පොළඹවන්නේ කිනම් සාධකයක් ද?

අදාමාට අනුව ඇගේ දෙමව්පියන් සිටි කල ජීවිතය පහසු විය. මිල මුදල් අගහිගකම් තිබුණද දිවියේ යම් පිළිවෙළක් විණ. ඇය පාසල් ගිය අතර තම පාසල් ගමනට ප්‍රිය කළා ය. ඉන්පසුව, ඇයට වයස අවුරුදු 12ක් වන විට ඇගේ පියා මිය ගියේ ය. ඉන් වසර කීපයකට පසු ඇගේ මව ද මිය ගියා ය.

“ඉන් පස්සෙ ජීවිතේ ගොඩක් අමාරු වුණා,” ඇය කීවා ය. “මට ඉස්කෝලෙ යන එක නතර කරලා ජීවිකාවක් සොයා ගන්න සිද්ද වුණා.”

විසි දෙහැවිරිදි වියේ දී අදාමාට අයෙක් හමුවිය. ඇය ඔහුගෙන් ගැබිණියක් වූවා ය. එහෙත් ඔහු ඔවුන් ගේ දියණිය ඉපිද දින තුනකින් මිය ගියේ ය. ඇගේ තනිකම තීව්‍ර විණ. දියණියට මාස දහ අටක් පමණ වන තෙක් අදාමා ඇය රැක බලා ගත්ත ද ඉන් පසු ඔවුන්ට ජීවත් වන්නට ස්ථිර ආදායම් මාර්ගයක උවමනාව දැඩි ව දැනෙන්නට විය. එහෙයින් අදාමා දියණිය තම වයස්ගත මිත්තණිය වෙත තබා රැකියාවක් සොයා ගෙන නයිරෝබි නුවර වෙත ආවා ය.

“ඔයා නගරයට යන්නේ ඔයාගෙ දරුවාට ජීවත් වන මගක් සොයා ගන්නට යි” යැයි කුමන හෝ හේතුවක් නිසා ඇගේ මිත්තණිය කීවා ය.

නයිරොබි නුවරට පැමිණ කොමඩු විකුණන ව්‍යාපාරයක් ඇරැඹුවද එයින් ඈට එතරම් මුදලක් ලැබුණේ නැත; ඇය සමග නිවෙස බෙදා ගත් පුද්ගලයා ඇගේ මුදල් සොරකම් කළේ ය. නගරයේ ජීවිතය ද අපහසු විය. තමා ආරක්ෂා කර ගැනීමට පොර බදින්නට සිදු වූ නිසා ඇගේ නළලේ තුවාලයක් ද වෙයි. “පිරිමි ටිකක් මගෙත් එක්ක සෙල්ලම් කරන්න ආවා, මට රණ්ඩු නොකර ඉන්න බැරි තැනක් ආවා,” ඇය කියයි.

ඇය කිසිදු ගෙවීමක් නොකළ ඉදිකිරීම් ප්‍රදේශයකට ද, එතැනින් රාත්‍රි සමාජ ශාලාවකට ද රැකියාවට ගියා ය. ටික කලකට පසු අදාමා තම ආදායම වැඩි කර ගත්තේ තමන් ගේ ම නිවසක් කුලියට ගන්නට ය. ඊට මදක් වැඩි වේතනයක් හිමිවන ඉදිකිරීම් ප්‍රදේශයක් රැකියාවක් සොයා ගත් ඈට එහිදි පෙම්වතකු හමුවිය. ඔවුන් මද කාලයක් සම්බන්ධතාවක් පැවැත්වූ අතර තමාට දරුවකු අවශ්‍ය බව ඔහු ඈට කීවේ ය.

අදාමා ඔහුට මෙසේ කීවා ය- ඈට ඇගේ කුඩා දියණිය ඔවුන් සමග ජීවත් වන්නට ගෙන ආ හැකිනම් ඔවුන්ට එක්ව දරුවකු සෑදිය හැකියි. ඔහු ඊට එකඟ වූ අතර, අදාමා ගර්භණීව සිටි මුල් මාස පහ ඇතුළත ඔහු නිවසේ කුලී ගෙවා, බිල්පත් ගෙවා ආහාර පාන ගෙන ආවේ ය. අදාමා තම ළදරු දියණිය ගෙන එන්නට සුදුසු කාලය එනතුරු සිටියා ය. එක දිනක, ඔහු ඈ හැර ගිය අතර නැවත නො ආවේ ය.

BBC | දරු බරෙන් නිදහස් වුවද වරදකාරී හැඟීමෙන් නිදහස් වන්නට තමන්ට නොහැකි බව අදාමා දන්නීය.

දරුවකු මෙලොවට ගෙන එන්නට සැරැසෙන විට කන්නට අඳින්නට නොමැති වීමේ කාංසාව බොහෝ කතුන් දන්නවා ඇත. එය එසේ වද්දි තම දරුවා නාදුනන අයකුට විකුණන්නට ඔවුහු නොසිතති. එහෙත් දරිද්‍රතාවයෙන් පෙළෙන සමහර කෙන්යානු ජාතික ගැබිණි මව්වරුන්ට, තම දරුවා දරු හොරුන්ට විකුණා දැමීම කරන්නට තෝරා ගන්නට ඇති අවසාන විකල්ප අතරින් එකකි.

දරු හොරුන් ගෙවන්නේ සිතා ගන්න නොහැකි තරම් අවම මුදලකි. දරුවා රැකබලා ගන්නට ක්‍රමයකුදු නොමැතිව තම දෙවැනි දරුවා සමග ගැබිණි තත්ත්වයට පත්වද්දී සාරාට වයස අවුරුදු දහහතකි. ඇයට කෙන්යානු සිලිං 3000ක්, එනම් පවුම් 20ක් ලබා දුන් කාන්තාවකට ඇය තම දරුවා විකිණුවා ය.

“ඒ වන විට මම ගොඩක් වයසින් අඩුයි, මම මා කරන දෙය වැරැදියි යැයි සිතුවෙ නැහැ” ඇය කීවා ය. “වසර පහකට පසුව ඒක මට හොඳටම දැනුනා, ඉන්පසුව මට ඒ සල්ලි ආයෙත් දෙන්න උවමනා වුණා.”

ඇය දරුවා විකුණූ මුදලට සමාන ගණන්වලට දරුවන් විකුණූ ගැහැණුන් ගැන තමා දන්නා වග ඇය කීවා ය.

“ගොඩක් ගැහැණු ළමයි දරුවන් විකුණන්නේ ඔවුන් විවිධ අභියෝගවලට මුහුණ දෙන නිසා යි. සමහරවිට ඇය ගෙදරින් එළවා දමා තිබෙනවා වෙන්නට පුළුවනි. එහෙම නැතිනම් ඇය ගැබිණි තත්ත්වයට පත්වද්දී තවමත් පාසලේ ඉගෙන ගන්නා අයකු වනවා වන්නට පුළුවනි. අවුරුදු 15ත් 16ත් අතර ගැහැණු ළමයකුට ගොඩාක් ප්‍රශ්න තිබෙනවා.”

අප්‍රිකාවේ ඉහළ ම නවයොවුන් ගර්භණිභාවයන් ඇති රටක් වශයෙන් කෙන්යාව හැදින්වෙන අතර, සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට කොරෝනාවෛරස ගෝලීය වසංගත සමයේ මේ තත්ත්වය තවත් උග්‍ර අතට හැරී තිබේ. බොහෝ කාන්තාවන් ලිංගික සේවා සැපැයීමට යොමු ව තිබෙන අතර දැරියන්ට ද පාසල් පද්ධතියේ ආකෘතික ග්‍රහණයෙන් ගිලිහී ගොස් ඇත.

“මේ තත්ත්වයේ සිටිනා බොහෝ ගැහැණුන් ගේ හා දැරියන් ගැන කතාන්දර මා අසා තිබෙනවා. තරුණ කාන්තාවන් රැකියාවන් සොයාගෙන නගරයට පැමිණෙනවා, ඉන්පසු ඔවුන් සම්බන්ධතාවලට යොමු වී, ගැබිණි බවට පත්ව, දරුවන් ගේ පියා අතින් අනාථ භාවයට පත්වනවා” කෙන්‍ යානු මානව හිමිකම් නීතිඥයකු වන පෘඩෙන්ස් මුටිසෝ කියයි.

“දරුවා ගේ පියා නඩත්තු සපයන්නේ නැති නම්, මේ ගැහැණුන්ටත් ගැහැණු දරුවන්ටත් වෙනත් ආදායම් මාර්ගයක් සොයා ගැනීමට සිදුවනවා. ඔවුන් දරු හොරුන් වෙත යොමු කරන්නේ එයයි. පුද්ගලයින් මේ සම්බන්ධයෙන් විවෘතව කතා කරන්නේ නැතත්, සිදුවන්නේ එයයි.”

ඉදිකිරිම් ස්ථානයේ තමාට හැකි තරම් කාලයක් ගර්භණී බව සඟවා ගෙන කටයුතු කරන්නට අදාමා උත්සහ කළත් ඇයට ඇගේ උදරය සඟවා ගන්නට හෝ විශාල බරැති මලු ඔසවා ගෙන යන්නට නො හැකි වන තරම් තත්ත්වයක් උද්ගත විය. ඉන්පසු ඇයට නිවසේ කුලිය ගෙවා ගන්නට ආදායමක් නොමැති විණ. මාස තුනක් ඇගේ නිවෙස් හිමියා ඇයට ඉන්නට දුන් අතර ඉන්පසු ව ඈ එළවා දැමිවේ ය.

අට මස් ගැබිණියකව සිටිය දී, අදාමා රාත්‍රී ජාමයේ නිවසට හොරෙන් පැමිණ නිදා ගෙන පාන්දර නික්ම යන්නට හුරු වූවා ය.

“හොඳ දවසක් නම්, මට කෑම ලැබෙනවා,” ඇය කීවා ය. “සමහර වේලාවට මම වතුර බීලා, දෙවියන් යැදලා නිදා ගන්නවා.”

කෙන්යාවේ අදාමා ගේ තත්ත්වයේ සිටින කාන්තාවක් දරු විකිණුමට යොමු කරවන හේතූන් කිහිපයක් තිබේ. දරුවා ගේ මව ගේ ජීවිතයට හානියක් සිදුවේ නම් හැරෙන්නට ගබ්සාව නීත්‍යානුකූල නොවේ. විශේෂයෙන් ම ගම්බද ප්‍රදේශවල නව යොවුන් පරපුරට ලිංගික සහ ප්‍රජනන අධ්‍යාපනය ලැබෙනුයේ ද ඉතා අවම වශයෙනි. නීත්‍යානුකූල දරුවන් කුලවද්දා ගැනීම පිළිබඳ ද පුද්ගලයින් තුළ ඇත්තේ අඩු අධ්‍යාපනයකි.

“අනවශ්‍ය ගැබිණි තත්ත්වයට පත්වන කාන්තාවන්ටත් දැරියන්ටත් රජයෙන් කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ,” Health Poverty Action පුණ්‍යායතනයේ වැඩසටහන් කලමනාකාර ඉබ්‍රහිම් අලි කියයි. “විශේෂයෙන් ම ගම්බද ප්‍රදේශවල මේ කාන්තාවන් බොහෝ විට වින්දිතයන් බවටත්, නින්දාවට ලක්වූවන් බවටත් පත්වනවා, එමනිසා ඔවුන් පැන ගොස් නගරයේ දී තමන් ව භයානක තත්ත්වවලට ඇද දමා ගන්නවා.”

නීත්‍යානුකූල ලෙස දරුවන් කුල වද්දා ගැනීම පිළිබද අදාමාට කිසිදු අදහසක් නැත. “මා ඒ ගැන කිසිවක් දැන සිටියේ නැහැ.”

නීත්‍යානුකූල නොවන මගක් හරහා ගබ්සාවක් කර ගන්නට ඇය සිතුවත් ඒ අදහස ඇගේ ආගමික විශ්වාසය සමග එකග නොවී ය. ඉන්පසු ඇය සිය දිවි නසා ගන්නට සිතුවා ය.

“මං හොඳටම පීඩනයට පත් වෙලා හිටියේ. මං ගිලිලා ජීවිතේ නැති කර ගන්න විදිහ ගැන හිතුවා.”

එහෙත් ඇය දරුවා බිහි කරන්නට සති කීපයකට පෙර, යමකු ඇය හොඳින් ඇඳ පැළඳ ගත් මේරි අවුමා නම් කාන්තාවකට හඳුන්වා දුන්නේ ය. ඇය අදාමාට ගබ්සාවක් කර නොගන්නා ලෙස ද, ජීවිතය කෙළවර කර ගන්නට නොසිතන ලෙස ද කීවා ය. මේරි අවුමා නයිරෝබි හි මුඩුක්කු ප්‍රදේශයක් වන කයෝල්හි නීතිවිරෝධී සායනයක් පවත්වා ගෙන යයි. ඇය අදාමාට සිලිං 100ක් දී පසුවදා සායනයට එන්නට කීවා ය.

BBC | මේ, අදාමාගේ බිළිඳු පුතා ඇගේ ඇකයේ නැළවුණු අවසන් අවස්ථාවයි.

මේරි අවුමා ගේ වීදි සායනය සැබැවින් ම සායනයක් නො වේ. එය සාප්පුවක ඉදිරියක් පිටුපස ඇති කාමර දෙකකි. එහි ඇතුළත බොහෝ වශයෙන් ම හිස් ව ගිය රාක්කවල පැරැණි ඖෂධ තිබෙන අතර පිටුපස ඇත්තේ කාන්තාවන්ට දරුවන් වැදීමේ කාමර ය. අවුමා ඇගේ සහායිකාව සමග හිඳගෙන ලාභයක් තබා ගෙන දරුවන් මිලට ගෙන විකුණයි.

අදාමා ගේ මිල දී ගන්නන් දරුවන් ලැබීමට නො හැකි ආදරණීය දෙම්ව්පියන් යුවලක් බව අවුමා ඇයට කීවා ය. එහෙත් සත්‍ය වශයෙන් ම ඇය දරුවන් විකුණන්නේ කවුරුන් හෝ ඇය නම් කරන මිල ගෙවන තැනැත්තකුට ය. තමා හෙදියකව සිටි බව අවුමා මේ ගැබිණියන්ට කීවද, දරු ප්‍රසූතියකදී සිදුවිය හැකි සංකූලතාවලට මුහුණ දෙන්නට අවශ්‍ය වෛද්‍ය උපකරණ, කුසලතා හෝ පිරිසිදු බව ඇය වෙත නැත. “ඇගේ ස්ථානය අපිරිසිදු යි, රුධිරය එකතු කරන්නට ඇය කුඩා භාජනයක් භාවිත කළා, ඇය ගාව බේසමක්වත් තිබුණේ නැහැ, ඇදත් පිරිසිදු නැහැ” අදාමා සිහිපත් කරයි. “ඒත් මට කිසිම විකල්පයක් තිබුණේ නැහැ.”

අදාමා සායනය වෙත ගිය පසු, මේරි අවුමා ඇයට කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව පෙති දෙකක් දුන්නේ ප්‍රසූත වේදනා ඇති කරන්නට ය. දරුවන් මිලදී ගන්නකු අවුමා වෙත සිටි අතර, වෙළඳාමක් කරන්නට ඇය උත්සුක ව සිටියා ය. එහෙත් අදාමා දරුවා ප්‍රසූත කළ විට එම පිරිමි දරුවාට පපුවේ සංකූලතා ඇති වූ අතර, දරුවා රෝහලකට රැගෙන යන්නට යැයි අවුමා ඈට කීවා ය.

“අලුත් පැකේජ් එකක් ඉපදිලා!”

රෝහලේ සතියකට පසු අදාමා සෞඛ්‍යමත් පිරිමි දරුවකු සමග පිටමං කරවනු ලැබුවා ය. ඇගේ හිටපු නිවෙස් හිමියා ඇයට නැවත ඉන්නට ඉඩ දුන්නේ ය. මද වේලාවකට පසු පොළේ දී ඇයට නැවත මේරි අවුමා හමු විණ. අවුමා ඇයට තවත් සිලිං සියයක් දී පසුවදාට සායනයට පැමිණෙන්නට යැයි කීවා ය.

“අලුත් පැකේජ් එකක් ඉපදිලා,” අවුමා ඇගේ මිලදී ගන්නාට කෙටි පණිවිඩයක් යැව්වා ය. “ගාණ 45,000යි.”

BBC | මේරි අවුමාගේ සායනය. ඇය ලාභයක් තබාගෙන දරුවන් මිලදී ගත්තේත්, විකුණුවේත් මෙහිදී ය.

බ්‍රිතාන්‍ය පවුම් 300ක් පමණ වන සිලිං 45,000 අවුමා අදාමාට දෙන්නට යන්නේ නැත. අදාමාට ලැබෙන්නේ බ්‍රිතාන්‍ය පවුම් 70ක් පමණ වන සිලිං 10,000කි. එහෙත් මේරි අවුමා නොදැන සිටි දෙයක් විය. එනම් ඇගේ මිලදී ගන්නා BBC වෙත සේවය කරන, වසරක් පුරා දිවෙන ළමා සොරකම පිළිබද සොයා බලන රහස් වාර්තාකරුවකු බව ය.

පසුදින අදාමා වීදි සායනයට ගිය පසුව ඇය දරුවා ද තුරුලු කර ගෙන පිටුපස කාමරයේ හිද ගෙන හුන්නා ය. සියල්ලට ම රහසේ සිදු වූ සාකච්ඡාවක දී මිලට ගන්නට ආ පුද්ගලයා, තමාට වෙනත් විකල්ප ඇති බව අදාමාට කී අතර ඇගේ සිත වෙනස් විණ. ඇය දරුවා ද සමග සායනය හැර ගිය අතර, ඔහු ද සමග රජය විසින් පවත්වා ගෙන යනු ලබන ළමා නිවාසයක් වෙත ගෙන ගියා ය. එහිදී දරුවාව නීත්‍යානුකූල ලෙස කුලවද්දා ගැනීම සිදු කෙරෙනු ඇති. BBCය මේරි අවුමාට ඈට විරුද්ධ ව ඇති චෝදනාවලට පිළිතුරු දෙනමෙන් ඉල්ලා සිටියද ඇය එය ප්‍රතික්ෂේප කළා ය.

දැන් අදාමා 29 හැවිරිදි අතර ඇය උස්මහත් වූ ගම්මානයේ ම ජීවත් වෙයි. තවමත් ඇතැම් දිනක ඇය කුසගින්නේ නින්දට යයි. ජීවිතය තවමත් දුෂ්කර ය. නිවස අසල ඇති හෝටලයක ඇයට ඉඳහිට රැකියාවක් ලෙස යමක් කරන්නට ලැබුණත් එය ද ප්‍රමාණවත් නොවේ. ඇය මත්පැන් නොබී සිටින්නට උත්සාහ දරයි. ඇය නයිරෝබි සිට පාවහන් රැගෙන විත් ගමේ පාවහන් කඩයක් දමන්නට සිහින දකිතත් ඒ සිහිනයට ඇය තවමත් දුර ය. ඇයට ඇගේ පුතු සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති වුවත්, අදාමා පසුතැවිලි නොවෙයි.

“මට මගේ දරුවාව විකුණන්න ඕන වුණේ නැහැ, මට ඒ සල්ලි අල්ලන්නවත් ඕන වුණේ නෑ,” ඇය කියයි. “දරුවා ව දෙන එකට මුදල් ගෑවිලා නොතිබුණ එකෙන් මගේ හිතට හොඳයි.”

තම පුතු තබා ආ ළමා නිවාසයේ අසල්වැසි ප්‍රදේශය ඇය දනියි. ඒ ඇය කුලියට සිටි නිවස අසල ප්‍රදේශයකි. “මං ඒ පැත්ත ආරක්ෂිත යි කියලා දන්නවා,” ඇය කියයි. ඒ හැර ඇයට සිත සනසාගත හැකි වෙනත් ක්‍රමයක් නැත.

* * *

සංස්කාරක සටහන

“ මී පුප් ලදිමි දරු නොලදිම් – රන් කැටි පුතා කෝ…” මෙම ලිපියට අප විසින් මාතෘකාව යොදා ඇත්තේ හෙළ ජන වහරේ එන ඉහත කියමන ඇසුරෙනි. ජනප්‍රවාදයට අනුව නියං සායෙන් කැළය වියැළෙන විට කොබෙයි මව මී පුප් හෙවත් මී මල් නෙළා ගෙනැවිත් උන්ගේ කුස පුරවයි. වැඩිමනත් මී මල් පසුව කන්නට තල් තලාවක් අසල එක්රැස් කරයි.

දිනක් බලන විට ඇය පරිස්මට දරුවන්ට කෑමට රැස් කළ මී මල්වලින් වැඩි කොටසක් අඩු වී තිබේ. ගල මතට වැටෙන අව්වෙන් මී මල් වියැළී ගිය බව ඇය නොදන්නීය. ඇයට පෙනෙන්නේ සිය දරුවන්, කුස පිරී ඇති විටත් මී මල් අනවශ්‍ය ලෙස කා දමා වනසා ඇති ලෙස ය. එනිසා ඇය කේන්තියෙන් සිය දරුවන්ට කොටයි. තමන්ගේ මවගෙන් එල්ල වූ මේ ප්‍රහාරය හේතුවෙන් කොබෙයි දරුවෝ මි යති. මේ අපරාධය දකින ශක්‍ර දෙවියන් වැසි වස්සවන අතර, එවිට වැසි දිය වැදී මී පුප්, පෙර පරිදිම පිම්බී ගල් තලාව මත දෘෂ්‍යමාන වෙයි. දැන් කොබෙයි මවට මී පුප් ලැබී ඇත. නමුත් ඇයට දරුවන් අහිමි ය. තමන් කළ දේ වටහාගන්නා ඇය, එදා පටන් “මී පුප් ලදිමි.. දරු නොලදිමි.. රන්කැටි පුතා කෝ කෝ” යැයි කියමින් වනය පුරා දුකෙන් සැරිසරන්නීය. කොබෙයියන් කෑ ගසන තාලය ද ඉහත වැකිය කියන විට නැගෙන හඬ වැනි ය.

පුරා දස මසක් වේදනා විඳ වදන දරුවා දුප්පත්කම නිසා කළුකඩයේ විකුණා දමන තැනට පත්වන මව්වරුන් ද කොබෙයි මව්වරුන් වැනි ය. දරුවන් නිසා ඔවුන් අතට මිල මුදල් අතට ලැබේ. හරියට කොබෙයි මවුට වැසි දෙවියන් මී පුප් දුන්නා වැනි ය. නමුත් මුදල් අතට ලැබී හැරී බලන විට ඈ ඇකයේ සිටි දරුවා ඇයට අහිමි වී ඇත.

පෙර ලිපි –

කළු කඩයේ සිලිංවලට විකිණෙන කෙන්යාවේ දරුවෝ

කළු කඩයේ සිලිංවලට විකිණෙන කෙන්යාවේ දරුවෝ – දෙවැනි කොටස



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි