×

ඇලෙක්සි නවාල්නි ට යුරෝපා සංගමයේ ඉහළම මානව හිමිකම් ත්‍යාගය

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි හට යුරෝපා සංගමයේ ඉහළම මානව හිමිකම් ත්‍යාගය හිමි ව තිබේ.


මෙම ත්‍යාගය ‘සිතීමේ නිදහස සඳහා පිරිනමන සාකරොව් ත්‍යාගය‘ (Sakharov Prize) යනුවෙන් හඳුන්වනු ලබයි. යුරෝපා පාර්ලිමේන්තුව විසින් මේ බව ඊයේ නිවේදනය කරනු ලැබීය.

දෙසැම්බර් 15 වැනිදා මෙම ත්‍යාග ප්‍රදානය ප්‍රංශයේ ස්ටාර්ස්බර්ග් නුවරදී පිරිනැමීමට නියමිතව ඇති නමුත්, ඇලෙක්සි නවාල්නි එය ලබාගැනීමට ප්‍රංශයට යාමට අපොහොසත් වනු ඇත්තේ ඔහු සිරගත කර ඇති නිසා ය.

සෝවියට් සංගමයේ විසම්මුතිකවාදියෙකු වූ සකාරොව්ගේ නමින් නම් කරන ලද මෙම ත්‍යාගයේදී යූරෝ 50,000 ක මුදලක් පිරිනමනු ලබයි. මානව හිමිකම් සහ නිදහස වෙනුවෙන් කැප වී කටයුතු කරන තනි පුද්ගලයන් හා සංවිධාන වෙනුවෙන් මෙය 1998 වසරේ පටන් පිරිනමනු ලබන්නකි.

මේ වසරේ මෙම නාමයෝජනා ලැබූ සෙසු අය අතර එක්සත් රාජධානියේ මානව හිමිකම් සංවිධානයක් වූ Global Witness, සිරගත කළ බොලීවියානු ජනපිත ජෙනීන් අනීස්, අරාබි කලාපයේ (සහ්රාවි) කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන සුල්තානා කායා මෙන්ම ඇෆ්ගන් කාන්තාවෝ 11 දෙනෙක් ද වෙති.

වස දුන්නත් මරා දැමීමට බැරි වූ නවාල්නි

නීතීඥවරයෙකු, විපක්ෂ නායකකයෙකු සහ දූෂණ විරෝධී සටන්කරුවෙකු වන ඇලෙක්සි නවාල්නි, අන්තර්ජාතික අවධානයට පාත්‍ර වන්නේ ජනපති පුටින්ගේ දීර්ඝකාලීන ඒකාධිපති පාලනයට එරෙහිව ජන රැළි සංවිධානය කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරියෙකු ලෙස ය. එනම් වීදියේ විරෝධයන් සංවිධානය කරන්නෙකු ලෙස ය. මෑත භාගයේ පුටින්ගේ ඒකාධිපති පාලනයට විශාල වශයෙන් අභියෝග කළ තනි මිනිසා ලෙස ඇලෙක්සි නවාල්නි සැලකේ.

LiveJournal නමැති බ්ලොග් අඩවිය සහ RosPil නමැති වෙබ් අඩවි ද ඔහු විසින් පවත්වාගෙන ගියේය.

45 හැවිරිදි ඇලෙක්සි නවාල්නි රුසියාවේදී සිරභාරයට පත් වන්නේ 2021 ජනවාරි මාසයේ ය. ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජර්මනියට ගොස් ආපසු සිය රට බලා ආ පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. වසර දෙකහමාරක සිර දඬුවමක් ඔහුට නියම කර තිබේ. එය, මීට පෙර අධිකරණය විසින් ලබාදුන් කොන්දේසි සහිත සමාවක් උල්ලංඝනය කිරීම නිසා සිදුවූ බව කියතත්, නවාල්නි පැවසුවේ එය තනිකරම දේශපාලන උසිගැන්වීම් මත සිදුවූ බව ය.

ඇලෙක්සි නවාල්නිට ජර්මනියේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිදුව තිබුණේ ඇයි? 2020 අගෝස්තු මාසයේ සයිබීරියාවේදී කිසිවෙකු විසින් ඔහුට වස දී තිබිණි. එය හමුදාව විසින් පාවිච්චි කරන මිලිටරි නර්ව් ඒජන්ට් ලෙස හඳුන්වන ස්නායු විෂකි. මේ වන විට විදෙස් රටවල සිටි රුසියානු අතීත රහස් ඔත්තුකරුවන් කිහිප දෙනෙකුම ස්නායු විෂවලින් මරාදැමීමට උත්සාහ කර තිබිණි. උදාහරණයක් ලෙස, 2018 වසරේ එංගලන්තයේ සැලිස්බරි නුවරදී හිටපු කේබීජී ඔත්තුකරුවකු වූ සෙර්ගයෙි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය ඝාතනය කිරීමට උත්සාහ කළේ ද මේ වර්ගයේම නොවිචොක් කාණ්ඩයේ ස්නායු විෂක් මගිනි.

කෙසේ නමුත් පුටින් පාලනය මෙම චෝදනාව දැඩි සේ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මෙය හුදෙක් බටහිර රටවල් විසින් සිය ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා සිදුකරන ප්‍රචාරණ ව්‍යාපෘතියක් බවයි.

නවාල්නි ජර්මනියේදී මාස 5 ක කාලයක් ප්‍රතිකාර ලබාගෙන ජීවිතය බේරාගත්තේය.

රුසියාවේ පවතින නීතියට අනුව අපරාධ වරදකට වරදකරුවෙකු යැයි අධිකරණයෙන් තීන්දු වූ අයෙකුට දේශපාලන ධුර දැරීම තහනම් ය. ඇලෙක්සි නවාල්නි 2013 වසරේදී අපරාධ චෝදනාවකට වැරදිකරුවෙකු බවට පත් කෙරුණේ මේ පසුබිම යටතේ ය. ඔහු මේ සිද්ධිය යුරෝපියානු මානව හිමිකම් අධිකරණය දක්වා ගෙන ගිය අතර, එහිදී නිගමනය කෙරුණේ සිය රට තුළ ඔහුට සාධාරණ නඩු විභාගයක් සඳහා පැවති අවස්ථාව අහිමි වූ බව ය.

සිරගතව සිටි නවාල්නි, 2021 අප්‍රේල් මාසයේදී නිරාහාර උපවාසයක් ආරම්භ කළේය. එයින් ඔහුගේ තත්වය නැවත වරක් මාරාන්තික වූ බව බටහිර මාධ්‍ය නිවේදනය කළේය. මේ අතර, 2021 ජූනි මාසයේදී රුසියාව, නවාල්නිගේ සිවිල් සංවිධානය වූ ‘Fighting Corruption‘ පදනම සහ එහි කලාපීය කාර්යාල ජාලය ‘අන්තවාදී කණ්ඩායම්‘ ලෙස නම් කළේ නවාල්නිගේ සගයන්ව තවදුරටත් මර්දනය කරමිනි. මේ වන විට නවාල්නිගේ පදනමට සම්බන්ධව සේවය කළ බොහෝ දෙනාට නඩු පැවරීමේ සූදානමක් ද රුසියාව තුළින් දැකගත හැකි වේ. ඔවුන්ට අරමුදල් ලැබීම අධිකරණ නියෝගයක් මගින් අහුරා දමා තිබෙන්නේ 2018 වසරේ පටන් ය.

පෙර ලිපි

ඇලෙක්සි නවාල්නිට වසර දෙක​ක් හා මාස 8ක සිර දඬුවම් නියම වෙ​යි

Update: රුසියානු විපක්ෂ නායක නවාල්නිට නොවිචොක් වස ශරීරගත වෙලා – ජර්මානු චාන්සලර්වරියගෙන් රුසියාවට දැඩි විරෝධයක්

ස්ක්‍රිපාල්ට දුන් වස වර්ගයම නවාල්නිටත් දීලා !- රුසියානු විපක්ෂ නායකයා අසාධ්‍ය තත්වයෙන් ජර්මනියේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි