×

ට්‍රම්ප් – ජෝ බයිඩන් අවසන් විවාදයේ සැබෑ ජයග්‍රාහකයා වැඩසටහන මෙහෙයවූ නිවේදිකාවයි!

නොවැම්බර් 3 වැනිදාට යෙදී තිබෙන ඇමරිකානු ජනාධිපතිවරණයට පෙර පවත්වනු ලබන අවසන් විවාදය, ඊයේ පැවැත්වූයේ ඒ විවාදයේ සැබවින්ම ජය ගත්තේ එය මෙහෙයවූ නිවේදිකාව බව ලොවටම පෙන්වා දෙමිනි.


ඇය, NBC පුවත් සේවයේ ධවල මන්දිරය ආවරණය කරන මාධ්‍යවේදිනිය ලෙස කටයුතු කළ ක්‍රිස්ටන් වෙල්කර් ය. 44 හැවිරිදි ක්‍රිස්ටන් වෙල්කර්, මේ වසරේ ජනාධිපති අපේක්ෂක විවාදයන් මෙහෙයවීමට තෝරාගෙන තිබූ එකම කළු ජාතිකයා ද වූවාය. සන්සුන් බව, අනවශ්‍ය කැපී පෙනීමක් ඇති කර ගැනීමට උත්සාහ නොකිරීම නිසාම, ක්ලේව්ලන්ඩ් හි පැවති පළමු විවාදයට වඩා මෙය ‘අමුතු‘ විවාදයක් ද විය. ඇය බොහෝ විට ප්‍රශ්න ඉදිරිපත් කළේ, ‘‘හරියටම කියන්න – විශේෂිතව සඳහන් කරන්න..‘‘ යනාදී ලෙස ඉතාම පැහැදිලිව, අනවශ්‍ය වැල් වටාරම්වලින් තොරව ය. අවශ්‍ය දේ කොළයක ලියාගෙන පැමිණි ඇය, නිතරම සිය රීතිවලට අනුගත වූවාය. කොළයක ලියාගෙන පැමිණි ප්‍රශ්න ඇය දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව යොමු කළේ ඒ ගැන මනාව ‘හෝම්වර්ක්‘ කර තිබූ නිසා බව ද පෙනෙන්නට තිබිණි. ධවල මන්දිරය ආවරණය කරන මාධ්‍ය වේදිනියන් මේ 2020 වසර පුරාම ට්‍රම්ප්ගේ කෙණහිලිකම්වලට ලක් වන ආකාරය සියැසින් දැක සිටි මාධ්‍යෙව්නියක් වශයෙන් ඇය සතු ධෛර්යය පැසසුමට ලක් විය යුතුමය.

ඇමරිකානු ජනාධිපති අපේක්ෂකයන් මුහුණට මුහුණ වාද කරගන්නා රූපවාහිනී විවාද මෙහෙයවන්නේ කවුරුන් විසින්දැයි තීරණය කිරීමට වෙනම කොමිසමක් ඇත. එය Commission on Presidential Debates යනුවෙන් හැඳින්වෙයි. මේ වසරේ ඒ සඳහා තෝරාගත්තවුන් අතර වයසින් අඩුම පුද්ගලයා වූයේ ද ඇයයි.

Fox New පුවත් සේවයේ ක්‍රිස් වොලස් විසින් මෙහෙයවූ පසුගිය විවාදයේදී ඉතා කලහකාරී ලෙස නිරන්තරව බාධා කළ ට්‍රම්ප්ට අවසානයේ සිදුවූයේ ඇතැම් අවස්ථාවලදී ගොළුවෙකු මෙන් නිහඬව සිටින්නට ය. නමුත් මෙවර ක්‍රිස්ටන්, ට්‍රම්ප්ට මාතෘකාවෙන් පිට පැනීමට ඉඩ නොදුන් තරම් ය. බයිඩන්ගේ පිළිතුරුවලින් ඇයව නම්මා ගැනීමට ද බැරි විය. ඒ වෙනුවට ඇය තිරසාර ලෙස, විවාදය පුරාම, එකඟ වී සිටි රීති ක්‍රියාත්මක කළාය.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස කටයුුතු කරන ජැම්ලේ බෝයූ මෙය නැරඹීමෙන් අනතුරුව ට්විට් කර තිබුණේ, ‘‘බ්‍රහස්පතින්දා විවාදයේ ජයග්‍රාහකයා අවිවාදයෙන්ම ක්‍රිස්ටන් ය‘‘ යනුවෙනි.

මෙම විවාදයෙන් පසුව ක්‍රිස් වොලස්ගෙන් ‘‘ඔබ මේ විවාදය ගැන සිතන්නේ මොනවාදැ‘ යි ඇසූ විට ඔහු මෙසේ කීවේය. ‘‘ඔක්කොටම කලින්.. මම කියන්න ඕනෙ.. මට ඉරිසියයි..‘‘

මේ අතර ට්‍රම්ප් ක්‍රිස්ටන් වෙල්කර් මේ විවාදය මෙහෙයවීමට තෝරාගැනීම නිසා අලි අමාරුවක වැටී සිටින බවක් ද පෙනෙන්නට තිබුණේය. ඒ අන් කිසිවක් නොව, ‘සීඑන්එන් ෆේක් නිව්ස්‘‘, ‘‘ඔයා නෙවෙයි, අර පිටිපස්සෙ එක්කෙනා ප්‍රශ්න අහන්න..‘‘ ‘‘මම ඔහේ අහන ඒවට උත්තර දෙන්නෙ නෑ..‘‘ ‘‘ඒක චීනෙන් අහන්න‘‘, යනාදී වශයෙන් මාධ්‍යයට දුස්රා එල්ල කරන ට්‍රම්ප්, මේ විවාදයට දින කිහිපයකට පෙර මේ මාධ්‍ය වේදිනියට ද ඒ මඩම ගසා තිබූ නිසා ය. ගත වූ සති අන්තයේදී ඇයට ට්විටර් හරහා මෙසේ ප්‍රහාර එල්ල කර තිබූ නිසා ය. “always been terrible and unfair, just like most of the Fake News reporters”. ට්‍රම්ප් එයින් අදහස් කර තිබුණේ ඇයත් අනික් ‘‘ෆේක් නිව්ස්‘ මාධ්‍ය වේදිනුත් අතර වෙනසක් නැති බව ය.

කෙසේ නමුත් අවසානයේදී, එක් අවස්ථාවකදී ඇය, බයිඩන් මතු කළ කරුණකට පිළිතුරු දීමට ට්‍රම්ප්ට අවස්ථාව ලබාදුන් විට ට්‍රම්ප් කතාව ආරම්භ කළේ මෙසේ ය.

‘‘මේ දක්වා… මේක මෙහෙයන විදිහ ගැන මම ගොඩක් ගෞරව කරනවා..‘‘

විවාදය

ට්‍රම්ප් සහ බයිඩන්, විනාඩි 90කට වැඩි කාලයක් නෑෂ්විල් හි බෙල්මවුන්ට් සරසවියේදී ඇමරිකාවේ වේලාවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ මුහුණට මුහුණ වාද කර ගත්හ. කොරෝනා වෛරස් වසංගතයට ප්‍රතිචාරය, සංක්‍රමණික ගැටළුව සහ ජනාධිපතිවරයා වශයෙන් දේශගුණික විපර්යාස ගැටළුවට මුහුණ දෙන්නේ කෙසේද යන්න ගැන මෙහිදී ප්‍රධාන වශයෙන් ප්‍රශ්න යොමු කෙරිණි.

‘‘මම තමයි අඩුවෙන්ම ජාතිවාදී‘‘ – ට්‍රම්ප් කියයි

‘‘මම හැම කෙනෙක් එක්කම බොහොම හොඳ සම්බන්ධතා තිබෙනවා. මම තමයි, අඩුවෙන් ජාතිවාදී ජනාධිපතිවරයා‘‘

මෙවිට ජෝ බයිඩන් එයට බාධා කරමින් මෙසේ කියයි.

‘‘ඔහු තමයි නූතන ඇමරිකානු ඉතිහාසයේ බිහිවුණු ජාතිවාදීම ජනාධිපති..‘‘

‘‘මේක ලෝක ප්‍රශ්නයක්‘‘ – කෝවිඩ් ගැන කියයි

ට්‍රම්ප් සුපුරුදු පරිදිම ‘‘මම තමයි හොඳම‘‘ ආකල්පයෙන් මේ ප්‍රශ්නයට උත්තර දෙයි. ඔහු කියන්නේ දවසින් දවස ඇමරිකානුවන් සුවපත් වෙමින් සිටින බව සහ මෙය ගෝලීය ප්‍රශ්නයක් බවයි.

‘‘නමුත් මට රටවල් ගොඩක රාජ්‍ය නායකයන් අපේ රටේ කෝවිඩ්-19 මර්දනය කරන ආකාරය ගැන සුබපතා තිබෙනවා..මට කරන්න පුළුවන් වුණු දේවල් නිසා.. !‘‘

මෙයට පිළිතුරු ලෙස ජෝ බයිඩන් ට්‍රම්ප්ගේ අතීත ප්‍රකාශම ගෙන හැර දැක්වීය.

‘‘මෙයාම තමයි කිව්වෙ, ගිම්හානය වෙද්දි මේක තුරන් වෙලා යයි කියලා. නමුත් අපි දැන් අඳුරු ශීත සෘතුවටත් ඇවිත්.. අඳුරු ශීත සෘතුවක්.. මෙයාට තවම පැහැදිලි සැලසුමක් නැහැ..‘‘

මෙවිට ක්‍රිස්ටන් වෙල්කර් ක්ෂණිකව මෙම ප්‍රශ්නය ට්‍රම්ප්ට යොමු කරයි.

‘‘අපිට වෙන කරන්න දෙයක් නෑ. ජෝ බයිඩන් නම් එයාම ලොක් වෙලා ඉන්නවා. කවුද දන්නෙ.. එයාට ඒකට ගොඩක් සල්ලි හම්බ වෙනව ඇති..‘‘

මෙවිට හඬ නගා මද සිනාවක් පාන ජෝ බයිඩන් මෙසේ කියයි. ‘‘අපි මේ රෝගයත් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. මිනිස්සු ඒකත් එක්ක මැරෙන හැටි ඉගෙන ගන්නවා..‘‘

ඒබ්‍රහම් ලින්කන්ටත් වඩා මම හොඳයි – ට්‍රම්ප් කියයි!

වැඩසටහන මෙහෙවන ක්‍රිස්ටන් වෙල්කර් මෙසේ අසයි.

‘‘මිස්ට ප්‍රසිඩන්ට්, ඔබ බ්ලැක් ලයිව්ස් මැටර් හැඳින්වූයේ ‘‘වෛරයේ ව්‍යාපාරයක් ලෙසයි…‘‘ දීර්ඝ විවරණයකින් පසුව ඇය ට්‍රම්ප්ගෙන් අසන්නේ ට්‍රම්ප් මෙය විවේචනය කළ භාෂාව ඇමරිකාව තුළ වෛරය ජනිත කරවනසුලු බවත්, එ් ගැන ඔහු කියන්නේ මොනවාද යන්න බවත් ය.

මෙහිදී ට්‍රම්ප් ගොළු වෙයි. ඔහු ගොත ගසයි. ‘‘මම දන්නෙ නෑ මම මොනවද කියන්න ඕනෙ කියලා..උන්ට ඕනෙ දෙයක් කියන්න පුළුවන්.. උන්ට ඕනෙ දෙයක් කියන්න පුළුවන්.. ඒකෙන් මම දුක්ට පත් වුණා..! මොකද මම තමයි මෙතන ඉන්න අඩුවෙන්ම ජාතිවාදී පුද්ගලයා. මට මෙතන ඉන්න ප්‍රේකෂකයො පේන්නෙ නෑ මොකද ප්‍රේක්ෂකාගාරය අඳුරුයි. කවුරු හිටියත් මට ප්‍රශ්නයක් නෑ. මං තමයි අඩුවෙන්ම ජාතිවාදී පුද්ගලයා‘‘ යැයි අදාළ නැති වැල්වටාරම් කියවන ඔහු, ඒබ්‍රහම් ලින්කන්වත් මෙතැනට ඇද ගනියි.

‘‘මම තමයි මේ දක්වා කළු ජාතිකයන්ට වැඩිම සේවයක් කරපු කෙනා.. සමහරවිට ඒබ්‍රහම් ලින්කන් මේකට ව්‍යාතිරේඛයක් වෙන්න පුළුවන්.. වෙන්න පුළුවන්..ඒත් මං තමයි…හොඳම!‘‘

මෙයට බයිඩන් පිළිතුරු දෙන්නේ ඔහු නූතන ඇමරිකානු ඉතිහාසයේ බිහිවූ වඩාත්ම ජාතිවාදී ජනපතිවරයා බවත්, සෑම ජාතිවාදී ගින්නකටම ඔහු පිදුරු දැමූ බවත් කියමිනි.

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට ට්‍රම්ප් නින්දා කරයි

ඇමරිකාවට ඇතුළු වන නීතිවිරෝධී සංක්‍රමණික දරුවන්, ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කරන බවට නැගුණු චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් පැවසුවේ සමහරුන් පැමිණෙන්නේ දෙමාපියන් සමග නොව විවිධ කල්ලි සමග බවයි. මේ කතාවට බයිඩන් දැඩි පිළිතුරු ලබාදුන්නේය.

ඔබාමා විසින් හඳුන්වා දුන් ‘කැච් ඇන්ඩ් රිලීස්‘ හෙවත් ඇමරිකාවට අනවසරයෙන් ඇතුළු වන්නන් අල්ලා නිදහස් කිරීමේ ප්‍රතිපත්තිය ‘ඩිසාස්ටර්‘ හෙවත් ‘විපතක්‘ යැයි ට්‍රම්ප් කීවේය. ‘‘එහෙම එවුන් ආපහු එන්නෙ නෑ ජෝ.. ආපහු එන්නෙ.. මම මේක කියන්න කැමතිත් නෑ.. ආපහු එන්නෙ මොළේ අඩුම එවුන්…!‘‘

මෙවිට වහාම ක්‍රිස්ටන් ට්‍රම්ප්ගේ නින්දා සහගත දොඩමළුවට සමු දෙයි.

ලංකාවේ ක්‍රිස්ටන් වෙල්කර්ලා නැද්ද?

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කා දමමින් තිබෙන ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ තවමත් ලිබරල් චින්තනයක් ඉතිරි වී තිබෙන බව අපට පෙනී යන්නේ මෙම විවාදය සඳහා ක්‍රිස්ටන් වෙල්කර් ව තෝරාගැනීමෙනි. දෙවැනි විවාදය කෝවිඩ්-19 රෝගියෙකු බවට ට්‍රම්ප් පත්වීම නිසා අත්හැර දැමීමට සිදුවූ අතර මේ පැවැත්වුණේ අවසන් විවාදයයි. ලංකාවේදී මෙවැනි දෙයක් සිදුවිණි නම්, ‘‘අන්තිම එකනෙ මේක. ඒනිසා අසුවල් නිවේදකයාට මේක දෙමු‘‘ යැයි කියමින් කාන්තාවන් කපා දමන මාධ්‍ය පණ්ඩිත්ලා අති බහුල ය.

ලංකාවේ මේ වන විට සෑම රූපවාහිනී චැනලයකම සතිපතා දේශපාලන විවාද තිබේ. එක් දේශපාලන විවාදයක නිවේදකයෝ තුන් දෙනෙක්ම වටවී එක් දේශපාලනඥයෙක් ව ප්‍රශ්න කරති. බැරිවීමකින්වත් මෙවැනි තැන්වල නිවේදිකාවන් වැඩසටහන් මෙහෙයවන්නියන් බවට පත් නොවේ. ඔවුන්ට කැප වී තිබෙන්නේ වැඩිම වුණොත් කොළයක් හෝ ටෙලිප්‍රොම්පරයක් බලාගෙන නිව්ස් කියවීම ය. ලංකාවේ රූපවාහිනී මාධ්‍යය තුළ දේශපාලන සාකච්ඡා සහමුලින්ම පිරිමි කලාපයකි. බැරිවීමකින් වාගේ මෙවැනි සාකච්ඡා හෝ විවාද ‘නිවේදිකාවන්‘ විසින් මෙහෙයවූ අවස්ථාවකදී වුවත් චැනලය පමණක් නොව හුදී ජනතාව පවා ඇයව ලේබල් කරන සුවිශේෂී නමක් තිබේ. ‘‘අති පණ්ඩිතී..!‘‘

ඉතින් ලංකාවෙන් ක්‍රිස්ටන් වෙල්කර්ලා බිහිවීමට තිබෙන්නේ කණ කැස්බෑවියක විය සිදුරෙන් අහස බලනවාක් මෙන් සියයට දශම ගණනක ඉඩ අවකාශයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි