×

ලෙබනන්හි සිටින සිරියානුවන් ලබන සතියේ සිට සිය මවු රටට

2011 වසරේ සිට මිලියන 6.8 කට වැඩි සිරියානුවන්ට සිය රටින් පලා යාමට බල කෙරී ඇති අතර තවත් මිලියන 6.9 ක ජනතාවක් අභ්‍යන්තරව අවතැන්ව සිටිති.


වසර දහයකට පසුවත් සිරියාව ලොව විශාලතම සරණාගත අර්බුදයට මුහුණ දී සිටියි.

2011 මාර්තු මාසයේ දකුණු දිග ඩාරා නගරයේ රාජ්‍ය විරෝධී යෞවනයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමඟ, සිරියාව පුරා මහජන පෙලපාලි ඇවිල ගිය අතර රජයේ ආරක්ෂක හමුදා විසින් ඒවා ඉතා ප්‍රචණ්ඩ ලෙස මර්දනය කරන ලදී. ගැටුම් ඉක්මනින් උත්සන්න වූ අතර රට සිවිල් යුද්ධයකට ඇද දැමීමට එය සමත් විය. මේත් සමඟ මිලියන ගණනක් සිරියානු පවුල්වලට ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් විය. 2011 වසරේ සිට මිලියන 6.8 කට වැඩි සිරියානුවන්ට සිය රටින් පලා යාමට බල කෙරී ඇති අතර තවත් මිලියන 6.9 ක ජනතාවක් අභ්‍යන්තරව අවතැන්ව සිටිති. අතිමහත් බහුතරය ආසන්න වශයෙන් මිලියන 5.2ක සරණාගතයින් අසල්වැසි රටවල් වන ටර්කියේ, ලෙබනනය, ජෝර්දානය, ඉරාකය සහ ඊජිප්තුව හි රැකවරණය පතා ඇත.


අසල්වැසි රටවලට පලා ගිය සරණාගතයින්ගෙන් ආසන්න වශයෙන් 92% ක් ග්‍රාමීය හා නාගරික පරිසරයක ජීවත් වන අතර දළ වශයෙන් සරණාගත කඳවුරුවල ජීවත් වන්නේ 5%ක් පමණි.

මෙම සරණාගත ගැටලුව සම්බන්ධයෙන් ලෙබනන් ජනාධිපති Michel Aoun ට්විට්හි සඳහන් කර තිබුණේ ලබන සතියේ සිට තම රටේ සිටින සිරියානුවන් කණ්ඩායම් වශයෙන් සිය මවු රටට ආපසු යැවීමට කටයුතු කරන බවයි.

ලෙබනනය ලෝකයේ ඒක පුද්ගල වැඩිම සරණාගතයින් සංඛ්‍යාවක් සිටින රටයි. මිලියනයකට වඩා අඩු සංඛ්‍යාවක් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ (UNHCR) ලියාපදිංචි වී ඇතත්, සමස්ත ‌රටේ ජනගහනය මිලියන හයකට වඩා වැඩි වන අතර ඉන් මිලියන 1.5 ක් සිරියාවේ සරණාගතයන් වන බව රජයේ සංඛ්‍යා ලේඛණ වාර්තාවන්හි දක්නට ලැබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සිරියාවේ කොමිසම පැවසුවේ රට තවමත් ආපසු පැමිණීමට ආරක්ෂිත ස්ථානයක් නොවන බවයි.

ලෙබනනයේ අවතැන් වූවන් සඳහා වූ අමාත්‍ය Issam Charafeddine ජූලි මාසයේදී සරණාගත ගැටලුව සම්බන්ධයෙන් සැලැස්මක් ප්‍රකාශයට පත් කළ අතර, දශකයකට වැඩි කාලයක් පැවති යුද්ධයෙන් පසු රට බොහෝ දුරට ආරක්ෂිත වී ඇතැයි යන ප්‍රකාශය මත පදනම්ව, මසකට සරණාගතයින් 15,000 ක් පමණ නැවත සිරියාවට යැවීමට උත්සාහ කරන බව එහි සඳහන්බ විය. ලෙබනන් බලධාරීන් පවසන්නේ සරණාගතයින්ගේ ගලා ඒම නිසා අර්බුදයට ලක් වූ රටට ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුවී ඇති අතර, රට මේ වන විට මූල්‍ය බිඳවැටීමක් සමඟ පොරබදමින් සිටීමත්, යටිතල පහසුකම් වලට හානී සිදු වීමත් බරපතල තත්වයන් බවයි.

නිව් යෝර්ක් හි හියුමන් රයිට්ස් වොච් (HRW) නම් උපදේශක කණ්ඩායම ලෙබනනයේ සහ ජෝර්දානයේ සිට 2017 සහ 2021 අතර ආපසු පැමිණි සිරියානු සරණාගතයින් පිළිබඳ සඳහන් කර තිබුණේ සිරියානු රජය සහ අනුබද්ධ කණ්ඩායම් අතින් සරණාගතයන්ගේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම් සහ පීඩාවන්ට පත් කිරීම් වාර්තා වූ බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි