×

‘ලියනාඩෝ ඩි කැප්රියෝ, නුඹ ඇමසන් වනයට ගිනි තිබ්බා..“ – බොල්සොනාරෝට උතුර දකුණ මාරු වෙයි

උතුර දකුණ මාරු වූ බොල්සොනාරෝගෙන් ඩි කැප්රියෝට අභූත චෝදනාවක්.


පරිසර සංරක්ෂණය සඳහාත් ඇමසන් වනයේ ගිනි නිවීම සඳහාත් ඇමරිකානු ඩොලර් මිලියන ගණන් ප්‍රදානය කළ සුපිරි නළු ලියනාඩෝ ඩි කැප්රියෝට පසුගියදා අභූත චෝදනාවකට ලක්වීමට සිදුවිය.

බ්‍රසීල ජනපති බොල්සොනාරෝ කියා තිබුණේ ‘කැප්රියෝ ඇමසන් වනය ගිනි තබන්නට සල්ලි දුන්නා..‘‘ යනුවෙනි.

එය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ බොල්සොනාරෝගේ සිතේ පවතින අනියත වෛරය පිළිබිඹු කරන්නක් ද විය.

වෙබ් කාස්ට් වැඩසටහනකට සහභාගි වෙමින් බොල්සොනාරෝ කීවේ මෙසේ ය.

“The NGO people, what did they do? What’s easier? Set fire to the bush,”

‘‘NGO කාරයො මොනවද කළේ? කැලේට ගිනි තිබ්බා!“

ලොව පුරා මහත් ආන්දෝලනයටත් උදහසටත් එසේම හාස්‍යයටත් පාත්‍ර වූ මේ චෝදනාව සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකළ බොල්සොනාරෝ ඒ වෙනුවට මෙසේ කීවේය.

‘‘ඡායාරූපයි වීඩියෝයි අරගෙන ඒවා NGO එකකට යැව්වා. ඒ NGO එක, ඩි කැප්රියෝ එක්ක එකතු වෙලා බ්‍රසීලයට විරුද්ධව ලෝකෙටම ඒවා පෙන්නුවා. ඩිකැප්රියෝ මේ NGO එකට ඩොලර් ලක්ෂ 5 ක් දුන්නා. එ්කෙන් සල්ලි කැලේට ගිනිතිබ්බ අයටත් ලැබුණා. හරිද..?“

“Leonardo DiCaprio, you are assisting with the burning of the Amazon, that can’t be,”

‘ලියනාඩෝ ඩි කැප්රියෝ, නුඹ ඇමසන් වනයට ගිනි තිබ්බා..“

පසුගිය සිකුරාදා බ්‍රසීලියා හි ජනාධිපති මන්දිරයේදී ද ඔහු මේ පරිසරහිතකාමී සුපිරි හොලිවුඩ් නළුවාට තවදුරටත් චෝදනා කළේය.

‘‘ලියනාඩෝ ඩි කැප්රියෝ මාර මිනිහෙක්.. ඇමසන් කැලෑව ගිනි තියන්න සල්ලි දෙනවා..“!

ඩි කැප්රියෝගේ පිළිතුර

ලෝකයේ ජනප්‍රිය සුපිරි තරු අතරින් පරිසරයට වඩාත්ම සංවේදී සහ, ඒ වෙනුවෙන් සිය ධනය හා පරිශ්‍රමය වැඩි වශයෙන්ම වැය කරන නළුවා වන ඔස්කාර් සම්මානලාභී ලියනාඩෝ ඩි කැප්රියෝ මේ අද්භූත චෝදනාවට පිළිතුරු දුන්නේ සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම මගිනි.

‘‘ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි මේ පරිසර පද්ධතිවල අනාගතය අවදානමේ. ඒවා ආරක්ෂා කරන කණ්ඩායම් සමග මම සාඩම්බරයෙන් නැගී සිටිමි. ඔවුන්ට සහාය දැක්විය යුතු අතරම, අපි ඉලක්කගත සංවිධානවලට අරමුදල් සපයන්නේ නැත.‘‘

කවුද මේ NGO කාරයෝ?

බොල්සොනාරෝ කලිනුත් මෙහෙමයි!

රාජ්‍ය නොවන සංවිධාන දේශද්‍රෝහීන් ලෙස සලකා අම්මා මෝ නැතිව බැණ වැදීමට අන්ත දක්ෂිණාංශික නායක ජෙයි බොල්සොනාරෝ කවදත් දක්ෂ ය. ලියනාඩෝ ඩි කැප්රියෝ ඉලක්ක කරගෙන මෙසේ NGO වලට පහර දීම බොල්සොනාරෝට අලුත් දෙයක් නොවේ. පසුගිය අගෝස්තු මාසයේ මුළු ලෝකයම දැවෙන ඇමසන් වනය දෙස තුෂ්නිම්භූත වී බලා සිටියදී බොල්සොනාරෝ කීවේ ඇමසන් වනයට ගිනි තැබුවේ රාජ්‍ය නොවන සංවිධාන බව ය. එතැන් පටන් ඔහු දිගින් දිගටම මේ බොරුව පවත්වාගෙන යයි.
බොල්සොනාරෝට මේ පැවැත්ම තුළින් හිමිවන්නේ මොනවාද? රාජ්‍ය නොවන සංවිධානවලට දෝස් මුර තබන විට බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික මහජනතාවට විශාල ප්‍රීතියක් ඇති වේ. ‘එයා තමයි අපේ නායකයා. බලන්න ජාත්‍යන්තරයට බනින හැටි!‘ යනුවෙන් ආදරයක් ද බොල්සොනාරෝ සම්බන්ධයෙන් ඔවුන්ට සිතේ.
අනෙක් අතට, ඇමසන් ගිනි තැබීම ගැන දොස් කියන බොල්සොනාරෝගේ ඇමසන් ගැන සැලසුම කුමක්ද? ඇමසන් වනය එළිකර එය ‘කැට්ල් ෆාමින්‘ හෙවත් ගව පාලනය සඳහා ලබාදීමයි.
අද දිනයේම අප විසින් පළ කළ තවත් ලිපියකින් දැක්වෙන්නේ ලෝකයේ දරුණුතම හරිතාගාර වායුවක් වන මීතේන් හි ආනිශංස පිළිබඳව ය. එක් ගවයෙකු දිනකට මීතේන් ලීටර 500 ක් ප්‍රශ්වාස වාතය මගින් වායුගෝලයට එක් කරන බව එහිදී කියා ඇත.
ඇමසන් වනය ගිනිගත්තත් නැතත්, ඇමසන් ගැන තිබෙන අනාගත සැලසුම්වලින් ඊටත් වඩා හරිතාගාර වායු ප්‍රමාණයක් වායුගෝලයට විමෝචනය වීමට නියමිත ය. එසේ නම් බොල්සොනාරෝ මේ කරන්නට සැරසෙන්නේ කුමක්ද?
ලෝකයා මතු යම් දිනෙක ඇමසන් වනය විනාශ කළා යැයි ඔහුට නියත වශයෙන්ම චෝදනා කරන්නට ඉඩ ඇති නිසා, ඊට කලින් ඔහු ඒ ගැන ලෝකයාට චෝදනා කරයි.
එයත් කදිම විලම්බීත දේශපාලන උප්පරවැට්ටියකි.
Previous article:


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි