×

ලුවිස් හැමිල්ටන් ‘සර්‘ කෙනෙක් වෙන ලකුණු

F1 ලෝක ශූරයා ලුවිස් හැමිල්ටන් ට නයිට් පදවියක්


පසුගිය සතියේ F1 ලෝක ශූරතාවය සත් වැනි වතාවටත් දිනා ගනිමින් මයිකල් ෂූමාකර්ගේ වාර්තාව සම කළ ලුවිස් හැමිල්ටන් හට නයිට් පදවියක් පිරිනැමීමට තීරණය වී තිබේ.

නව අවුරුදු ලැයිස්තුවේදී නයිට් පදවිය සඳහා පුද්ගලයන් සලකා බලන Government Honours Committee පවසන්නේ ඔහුගේ බදු ගෙවීම් පිළිබඳ නිෂ්කාෂණය පැමිණි වහාම ඔහුගේ නම ලැයිස්තුගත කරන බවයි. එහි ගැටළුකාරී බවක් දක්නට නොමැති බව ද ඔවුන් විසින් කියා තිබේ.

35 හැවිරිදි ලුවිස් හැමිල්ටන් ට මීට පෙර ද නයිට් පදවිය පිරිනැමීම සම්බන්ධයෙන් කතාබහ ඇති වී තිබේ. ඉහත කී කමිටුව විසින් ඔහුව අතීතයේදී කිහිප වරක් සම්බන්ධ කර ගෙන ද තිබේ. නමුත් ඒ අවස්ථාවලදී ඔහුට අවසානයේ සෘණාත්මක ප්‍රතිචාර ලැබී තිබෙන්නේ ඔහු විසින් ජීවිත බේරාගෙන නැති බව, ඔහු NHS කාර්ය මණ්ඩලය මෙන් ප්‍රශංසා නොලද විරුවෙක් ( unsung hero) යනාදී වශයෙන් හේතු ද සමග ය. නමුත් පසුගිය සතියේදී ලෝකයේ එදා මෙදාතුර ෆෝමියුලා වන් ධාවන පථයේ විශිෂ්ටයා බවට පත් වීමෙන් අනතුරුව දැන්, ඔහුට නයිට් පදවිය පිරිනමන්නටම සිදුවී ඇති සෙයකි.

ලුවිස් හැමිල්ටන් ‘සර් ලුවිස් හැමිල්ටන්‘ වන හැටි

2009 වසරේදී ලුවිස් හැමිල්ටන් මහරැජින හමුවී තිබේ. ඒ, ඔහුට පිරිනැමුණු MBE හෙවත් Order of the British Empire ලාංඡනය ලබාගැනීම සඳහා ය. නමුත් නයිට්වරය ඊටත් වඩා ඉහළ සම්මානයක් වන අතර, එය පිරිනැමෙන්නේ ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමෙන් දීර්ඝ කාලයක් තිස්සේ යම් ක්ෂේත්‍රයකට සිදුකළ සේවාව මගින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙත ගෙනදුන් ගෞරවය වෙනුවෙනි. පුරුෂයෙකුට පිරිනැමෙන නයිට්වරයේ නිල නාමය Most Excellent Order of the British Empire (KBE) වන අතර, එතැන් පටන් ඔහුට ‘සර්‘ හෙවත් ‘ශ්‍රීමත්‘ නාමයෙන් ඇමතිය හැකිය. නයිට්වරය පිරිනැමෙන්නේ ස්ත්‍රියකට නම් Dame Commander of the Most Excellent Order of the British Empire (DBE) වන අතර, එතැන් පටන් ඇය Dame හෙවත් ‘ආර්යාව/ශ්‍රීමතී‘ යනුවෙන් හැඳින්වේ.

2009 වසරේදී ලුවිස් හැමිල්ටන් හට මහරැජින MBE සම්මානය පිරිනැමූ අවස්ථාව

හැමෝටම ‘සර්‘ කියන්නේ නැත!

බ්‍රිතාන්‍ය මහරැජින ඉදිරියේ දණ ගසා ලබාගත යුතු නයිට්වරය, ප්‍රකට පුද්ගලයන් විසින් ප්‍රතික්ෂේප කළ අවස්ථා ද තිබේ. හිරු නොබසින අධිරාජ්‍යයේ සංකේතය වූ ඇගෙන් මෙම සම්මානය ලබාගැනීම අධිරාජ්‍යවාදයට හිස නැමීමක් ලෙස සලකන අය ද සිටිති. නමුත් සංක්‍රමණිකයන් ලෙස බ්‍රිතාන්‍යයට පැමිණි දුප්පත් දෙමාපියන්ගේ දරුවෙකු වූ ලුවිස් හැමිල්ටන්, ජාතිවාදී ගැටළු තිබියදීත් බ්‍රිතාන්‍යය තුළින් මෝටර් රථ ධාවන ශූරයෙක් බවට පත් වූයේ එම රටේදී ඔහුට ලැබුණු අවස්ථා හේතුවෙනි. ඒ අනුව ක්ෂේත්‍රයේ ප්‍රථම සහ එකම කළු ජාතික ශූරයා බවට පත් වන්නට ඔහුට හැකි විය. එනිසා මේ නයිට්වරය ලුවිස් හැමිල්ටන් හට පිරිනැමීම, බ්‍රිතාන්‍යය විසින් ඔහුට කෘත ගුණ දැක්වීමක් සහ අගය කිරීමකි. ඔහු විසින් මේ නයිට්වරය පිළිගැනීම, බ්‍රිතාන්‍යය තුළ ඉපදී ලෝකයේ ඉහළම තැනට පැමිණි යටත් විජිත පියෙකුගේ පුතෙකු විසින් බ්‍රිතාන්‍යයට දක්වන ගෞරවයක් ද වනු ඇත.

BBC පුවත් සේවය සමග ලුවිස් හැමිල්ටන් පවසා තිබෙන්නේ මහ රැජින නැවත හමුවන්නට ලැබෙන්නේ නම් එය තමන්ගේ ජීවිතයේ ප්‍රීතිමත්ම දවස වනු ඇති බවයි.

ලංකාවේ මෙන් බලයෙන් ඉහළ පුද්ගලයාට ‘සර්‘ කියන හෝ කියවාගන්නා සිරිතක් එංගලන්තයේ නැති අතර, එරටදී ‘සර්‘ කියන්නේ නයිට්වරය ලද ශ්‍රීමත් පුද්ගලයන්ට පමණකි.

ලුවිස් හැමිල්ටන්, ගෝ කාට් පැදවූ කුඩා කොලුවෙකු ලෙස

මර්සිඩීස් කණ්ඩායමේ ලෝක ශූරයා බවට පත් වී

පසුගිය සතියේ තුර්කියේදී සත්වන ලෝක ශූරතාවය දිනා

පෙර ලිපිය

ලුවිස් හැමිල්ටන් නමැති ගරාජ් කොලුවා – එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම මෝටර් රථ ධාවන ශූරයා දක්වා



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි