×

LGBT+ විවාහ සමානාත්මතාවයට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රතු එළියක්

2015 ජූනි 26 වැනිදා ඇමරිකාවේ ජනපද 50 හිම සමරිසි විවාහ නීතිගත කිරීම LGBT+ ප්‍රජාවගේ පමණක් නොව, මුළු ලෝකයේම සිවිල් නිදහසේ සංධිස්ථානයක් විය.


නමුත් දැන්, විවාහ සමානාත්මතාවය පිළිබඳ ලබා දී තිබූ නඩු තීන්දු කිහිපයක් ‘ව්‍යවස්ථා විරෝධී‘ යැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනෙක් විසින් ප්‍රකාශ කිරීමත් සමග ඇමරිකාවේ සිවිල් නිදහස අභියෝගයට ලක්ව තිබේ.

2015 වසරේ දී එක්සත් ජනපදයේ ජනපද 50ට ම විවාහ වීමේ සමානාත්මතාව තහවුරු කළ ශ්‍රේෂ්‍ඨාධිකරණ තීරණය වූයේ Obergefell v. Hodges නඩු තීන්දුව මගිනිි. එය ඓතිහාසික තීන්දුවක් විය.

නමුත් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (Associate Justice of the Supreme Court) ක්ලැරන්ස් තෝමස් ප්‍රකාශ කර සිටින්නේ එය ව්‍යවස්ථා විරෝධී බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදි කාර්‍යපටිපාටිය පසු කර ගොස් ඇති බවත්, විශ්වාසදායක ව ආගම් ඇදහූ ජනතාවට සමාජයේ සහභාගිත්වය ලබාදීමට මේ නිසා ඉතා අපහසු වී ඇති බවත් ය.

කළු ජාතික විනිසුරුවරයෙකු වී සිටියදීත් සමාජයේ අගතීන් වළක්වාලීමට ලබාදුන් නඩු තීන්දුවක් මෙසේ විවේචනය කිරීමත් සමග බොහෝ දෙනා ක්ලැරන්ස් තෝමස් විනිසුරු පිළිබඳ සිය අප්‍රසාදය පළ කරමින් සිටිති.

විනිසුරු ක්ලැරන්ස් තෝමස් – AP NEWS

විශේෂයෙන්ම රූත් ගින්ස්බර්ග් වැනි රැඩිකල් සහ යුක්ති සහගත විනිසුරුවරියක් සමග විනිසුරු ක්ලැරන්ස් තෝමස් එකම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයාසනය බෙදාගත්තේ කෙසේදැයි අසන අය ද වෙති.

2020 ජූනි මාසයේදී ගනු ලැබූ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයාසනයේ ඡායාරූපයකින් විනිසුරු ක්ලැරන්ස් තෝමස් ව ඉවත් කිරීමට ඩේලි බීස්ට් වෙබ් අඩවිය කටයුතු කර තිබුණේ පහත අන්දමිනි. ඔහු විශ්‍රාම යා යුතුව තිබෙන බව ද එම ලිපියෙන් දැක්විණි.

Photo Illustration by The Daily Beast-Photo Chip Somodevilla-Getty

මේ ‘වරද‘ නිවැරදි කළ යුතුලු!

විවාහයක් පැවතිය යුත්තේ ගැහැණියක සහ පිරිමියෙකු අතර පමණක් ය යන ආගමික විශ්වාසය අබිබවා යැවූ මේ නඩු තීන්දුව ලොව පුරා සිවිල් නිදහස අගය කරන්නන්ගේ සතුටට හේතු වන තරමටම, සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සම්බන්ධයෙන් භීතිකාවලින් (ෆෝබියාවලින්) පෙළෙන අයගේ නොසතුටට ද හේතු විය.

මෙම නඩු තීන්දුව විවේචනය කරමින් විනිසුරු ක්ලැරන්ස් තෝමස් කීවේ කුමක්ද?

පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ආරක්ෂා කරන ලද ආගම් ඇදහීමේ නිදහස අභිබවා නව ව්‍යවස්ථානුකුල අයිතියකට ඉඩකඩ සලසා ඇති බවත්, එය නිවැරදි කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයටම පමණක් බවත් ඔහු කියා ඇත. මේ අදහස් සමග ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සැමුවෙල් ඇලිටෝ ද එකඟත්වය පළ කර තිබේ. “එතෙක්, මේ නඩු තීන්දුව ආගම් ඇදැහීමේ නිදහසට විනාශකාරී ප්‍රතිඵල ගෙන දේවි” යැයි ද ඔහු පවසා තිබේ.

‘‘LGBT+ සමානාත්මතාවට විරුද්ධ වන ක්‍රිස්තියානු බැතිමතුන් අන් මත නොඉවසන්නන් (bigots) ලු!

විනිසුරු තෝමස් මේ අදහස් පළ කළේ, තම ක්‍රිස්තියානු විශ්වාස හේතුවෙන් සමරිසි යුවලවලට විවාහ සහතික ලබාදීම ප්‍රතික්ෂේප කළ කෙන්ටකි හි කිම් ඩේවිස් නමැත්තිය ගේ පෙත්සමක් නිෂ්ප්‍රභා කරමිනි. ඇය ගේ ඉල්ලීමෙන් කියැවුණේ අභියාචනාධිකරණයේ තීන්දුව නැවත හරවමින්, පුද්ගලයන් ගේ අයිතීන් උල්ලංඝනය කිරීමට ඇයට ඉඩ සලසා දෙන ලෙස යි.
මේ නඩුව විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේ ය. ඩේවිස් ගේ තර්කය පැහැදිලිව ඉදිරිපත් කර නොමැති වගට තෝමස් සහ ඇලිටෝ විනිසුරුවරුන් එකඟ වූ අතර, එයින් ඔබ්බට ගොස් Obergefell නඩු තීන්දුව ව්‍යවස්ථා විරෝධී බව ද ප්‍රකාශ කළහ.

එයින් නොනැවතී විනිසුරු තෝමස් පැවසුවේ ඩේවිස් “භක්තිවන්ත ක්‍රිස්තියානු බැතිමතියක” බව ත් “අධිකරණය විසින් ආගමට කරනු ලබන අකාරුණික සැලැකීමේ මුල් ම වින්දිතයකු” බව ද කියා සිටියේ ය. දැන් LGBT+ සමානාත්මතාවට විරුද්ධ වන ක්‍රිස්තියානු බැතිමතුන් අන් මත නොඉවසන්නන් (bigots) ලෙස හංවඩු ගැසෙන බව ද ඔහු තවදුරටත් කියා සිටියි.

මේ මතයන් සහ ප්‍රකාශයන් පුද්ගල නිදහස, සිවිල් නිදහස සහ මානව නිදහස අගය කරන ලෝකයට එල්ල කරන කුළු ගෙඩි පහරවල් බව පැහැදිලිවම පෙනේ.
Obergefell නඩු තීන්දුව මගින් විවාහය ගැහැණියක සහ පිරිමියකු සමග පමණක් විය යුතු යැයි විශ්වාස කරන ආගමික බැතිමතුන් ගේ එම ආගමික විශ්වාසය පහසුවෙන් ඉවතලා, ඔවුන් අන් මත නොඉවසන්නන් ලෙස නම් කරන බව ද විනිසුරු තෝමස් කියා ඇත.

“Obergefell නඩු තීන්දුවේ පටන්, පාර්ශව විසින් යහපත් චේතනා ඇති පුද්ගලයන් ඔවුන් ගේ ආගමික විශ්වාස පවත්නා සම්මතයට අනුව වෙනස් කර ගැනීමට අකැමැති වීම නිසා ම, ඔවුන් අන් මත නොඉවසන්නන් බවට පත් කර තිබෙනවා.”

වසර 5 ක් පැරණි නඩු තීන්දුව ආපසු හරවන්නට විවෘත උත්සාහයක !

මේ නඩු තීන්දුව ආපිට හරවන්නට බහුතරයක් ඇලිටෝ සහ තෝමස් විනිසුරුවරුන්ට පමණක් නොහැකි වුවත්, American Civil Liberties Union හි චේස් ස්ට්‍රැන්ගියෝ පවසන අන්දමට, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විවෘතව වසර පහක් පැරැණි නඩු තීන්දුවක් ආපසු හරවන්නට කැමැත්ත පළ කිරීම පෙර නොවූ විරූ තත්ත්වයකි.

ටිවිටර් පණිවිඩයකින් ඔහු මෙසේ කියා සිටියේය.

“හරි මග යන්නට අධිකරණය දක්වන මුරණ්ඩු ස්වභාවය, ‘නීතියේ සුරැකිබව‘ නමැති ඉතාම සරල බලාපොරොත්තුව වෙත පවා තර්ජනයක් ඇති කරයි.‘‘

Voxහි ඉයන් මිල්හිසර් මෙසේ පවසයි.

‘‘ඇතැම් පිරිසකට අකාරුණික වචන අසන්නට සිදුවීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු විසින් සුළුතරයක අයිතින් පැහැර ගැනීමට තැත් කිරීම පුදුම සහගත ය.‘‘

මුල් ලිපිය

Two Supreme Court justices say marriage equality decision should be overturned



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි