×

ඊශ්‍රායලයේ ටෙල් අවිව් සමරිසි චිත්‍රපට දැක්මට සමරිසි ප්‍රජාවේම විරෝධය

ටීඑල්වී ෆෙස්ට් (TLVFest) නමින් හැඳින්වෙන මෙම චිත්‍රපට දැක්ම LGBTQ තේමාවන් ගෙන් යුතු චිත්‍රපට ප්‍රදර්ශනය කරන අතර, ඊශ්‍රායල රජයේ අනුග්‍රහය ඇතිව සිදුවේ.


ඊශ්‍රායලයේ ටෙල් අවිව් ප්‍රදේශයේ වාර්ෂිකව පවත්වන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, ප්‍රශ්ණභාවී (LGBTQ) ප්‍රජා තේමා කර ගත් චිත්‍රපට දැක්මකට විරෝධය පාමින් ලොව වටා LGBT චිත්‍රපට නිශ්පාදකයන් පෙළ ගැසී සිටින බවට වාර්තා වේ.

ටීඑල්වී ෆෙස්ට් (TLVFest) නමින් හැඳින්වෙන මෙම චිත්‍රපට දැක්ම LGBTQ තේමාවන් ගෙන් යුතු චිත්‍රපට ප්‍රදර්ශනය කරන අතර, ඊශ්‍රායල රජයේ අනුග්‍රහය ඇතිව සිදුවේ.

එහෙත්, LGBTQ චිත්‍රපට දැක්මකට LGBTQ ප්‍රජාවම මෙසේ විරෝධය පෑමට හේතුව කුමක්ද?

එයට හේතුව වී ඇත්තේ ඊශ්‍රායලය ජාත්‍යන්තර නීති හා මානව හිමිකම් අතින් පලස්තීනය පිළිබඳ දරන දරදඬු ප්‍රතිපත්තියයි.

මේ අනුව පලස්තීන LGBTQ ප්‍රජාවට සහාය පළ කිරීමක් වශයෙන් ජාත්‍යන්තර LGBTQ චිත්‍රපට නිශ්පාදකයන් තම නිර්මාණ එකී චිත්‍රපට දැක්මට ඉදිරිපත් නොකර සිටීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම වර්ජනයට බ්‍රිතාන්‍ය චිත්‍රපට නිශ්පාදක චාලට් ප්‍රොජර්, ප්‍රංශ චිත්‍රපට නිශ්පාදක ඇලෙයින් ගුරෝඩි, ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂ හර්ජන්ට් ගිල් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

ඒ සියල්ල ප්‍රසිද්ධ LGBTQ තේමාවන් ගෙන් යුතු චිත්‍රපට නිශ්පාදකයින් ය.

මීට අමතරව ජනප්‍රිය ඒඩ්ස් විශ්ලේෂක සේරා ෂූමන් ද සිය සහාය පළ කර සිටියි.

ඔවුන් පෙන්වා දෙන්නේ තම රාජ්‍යයේ LGBTQ අධිවාචනය පිළිබඳ උදම් අනන ඊශ්‍රායලය වෙනත් රටවල මානව හිමිකම් උල්ලංඝනය කිරීමට කටයුතු කරනා බවයි.

මේ වන විට ලොව වටා LGBTQ චිත්‍රපට නිශ්පාදකයින් සිය දෙනෙකුට අධික පිරිසක් සිය නිර්මාණ ටීඑල්වී ෆෙස්ට් චිත්‍රපට දැක්මට ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මෙම වර්ජනය සංවිධානය කර තිබෙන්නේ Palestinian Campaign for the Academic and Cultural Boycott of Israel නම් සංවිධානය විසිනි. එය පලස්තීන LGBTQ ප්‍රජා අයිතීන් වෙනුවෙන් කටයුතු කරන සාමූහිකයකි.

ඊශ්‍රායලය හා පලස්තීනය අතර පවතින ගැටුම අනාදිමත් කලක සිට පැවතියකි.

දෙරට අතර ආතතිකාරී වාතාවරණය තුළ මැද පෙරදිග විවිධ රටවල් සෘජුව හෝ වක්‍රව ඉන් එක් රටකට සහාය පළ කරන ආකාරය දැකිය හැක.

.

ටීඑල්වී ෆෙස්ට්

ටීඑල්වී ෆෙස්ට් චිත්‍රපට දැක්ම ආරම්භ කරන ලද්දේ 2006 වර්ෂයේදී ය. එය ඊශ්‍රායලයේ විශාලතම LGBTQ චිත්‍රපට දැක්මයි.

එයට ඊශ්‍රායලයේ ටෙල් අවිව් මහනගර සභාවේ මෙන්ම සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍යංශයේ අනුග්‍රහය ලැබේ.

මෙවර එම චිත්‍රපට දැක්ම එළඹෙන ජූලි මස 4 වන දින සිට 13 වන දින දක්වා පැවැත්වීමට නියමිත ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි