×

අහම්බයක් නොවේ, ජීවිතය!

ජීවිතය අහම්බයක් හෝ හුදු හමුවීම් - වෙන්විම් සම්භාරයක් නොවේ.


මේ කැරොලිනා මුහුදු වෙරළ ට මා යන සාමාන්‍ය සවාරියක් නම් නොවේ. මා මුහුදු වෙරළ ට මේ යන්නේ විවේක ගැනීමට හෝ මුහුදු සුළං විඳීමට නම් නොවේ. මගේ ලොකු පුතු කැමරන් 1998 වර්ෂයේදී ලියුකේමියා රෝගය වැළඳී මියගියේය. අද ඔහු සිටියා නම් හරියට ම අදට ඔහුගේ වයස අවුරුදු විසි එකකි.

කැරොලිනා වෙරළේ සංචාරකයන් අතර ජනප්‍රිය ම වෙරළ තීරය වෙත යාමට මම තීරණය කළෙමි. එම පෙදෙස පිහිටා තිබෙනුයේ මැක්ඩොනල්ඞ්ස් අවන්හලට පයින් ඇවිදින දුරකිනි. සංචාරකයන් ට අවැසි නම් මැක් ඩොනල්ඞ්ස් අවන්හල වෙත ද යා හැකි නිසා වෙරළේ මෙම කොටස අතීතයේ සිට ම ජනප්‍රිය ය.

කුඩා දරුවෙන් වෙත මගේ අවධානය කවදත් නිතැතින් ම ඇදී යයි. ඒ මගේ පොඩි පුතු තවමත් ළාබාල වියේ පසුවන නිසා පමණක් නොවේ. කැමරන්ගේ සිඟිති මුහුණේ මතකය මගේ මනසේ සදා රැව්දීම ද එයට හේතුවකි. අනෙක් අතට කුඩා දරුවෝ ද කොතැන දුටුවත් මා සමග බැඳෙති. මා සමග රැඳෙති. එනිසා එක් පොඩි දරුවෙක් පැමිණ වෙරළේ වාඩි වී සිටි මගේ පයේ ඇඟිලි වැලිවලින් වසා දැමීම මට පුදුමයට කරුණක් නොවීය.

“මම ඔයාව වැලිවලින් වහනවා…” පොඩි එකා කීවේ තිර අධිෂ්ඨානයකින් මෙනි. මට සිනහ ගියේය. “හිනාවෙන්න එපා. මම ඔයාව ඔලුවට යනකල් ම වැලිවලින් වහනවා.” එවිට පුංචි එකා හරි බැරෑරුම් ලෙස කීවේය.

“හොඳයි… මම ඒකට කැමතියි..” මම සිනාසෙමින් මිමුණුවෙමි. ඔහුට එහා පැත්තේ තවත් පුංචි දරුවෙක් තමන්ගේ ම පයැඟිලි සමග සෙල්ලම් කරමින් සිටියේය. ඔවුන්ගේ මව්පියන් මට පිටුපසිනි. දරුවෝ ඉක්මනින් ම අල්ලන සෙල්ලම් කිරීම ඇරඹූහ. මේ අල්ලන සෙල්ලමේදී ඔවුන් අල්ලන්නේ මාව ය. මා ව අල්ලා ඉන්පසු හැරී දුවගොස් මුලින් ම ඔවුන්ගේ මවගේ දණහිස අල්ලන කෙනා තරගයෙන් දිනුම් ය. පැයක් පමණ මේ විනෝදය පවතින්නට ඇත.

“පුතාගෙ නම මොකක්ද?” මම වැඩිමල් දරුවාගෙන් ඇසීමි.

“ඇලෙක්ස්. වයස පහයි.”

“හ්ම්.. එහෙමද..? මටත් පුතෙක් ඉන්නවා.. වයස දොළහයි..” මම කීවෙමි.

ඔහුගේ මව්පියන් අප පසුකර රැල්ල පාගන සීමාව වෙත යන තෙක් ම ඔහු මගේ පය වැලිවලින් වසමින් සිටියේය. “මමත් යනවා අම්මලත් එක්ක..”

“හා..”

“මගේ මල්ලි වතුරට කැමති නෑ… එයා හරි බයයි.. වතුරට යන්නෙම නෑ.”

“පුතා යන්න.. මම ඔයා එනකල් මල්ලි ව බලාගන්නම්.” ඇලෙක්ස් ගේ ඉල්ලීම වැටහුණු හෙයින් මම කීවෙමි.

ඔහුගේ ඉහේ මලක් පිපුණා වැන්න. ඔහු මව්පියන් සමග රැල්ල පෑගීම සඳහා ගියේය. මම පුංචි ම එකා සමග තනි වීමි. වයස අවුරුදු එකහමාරක පමණ වූ ඔහු අයියා යනු දැක මා වෙත ට හැරුණේය. කෙමෙන් කෙමෙන් මා අසල ට ආවේය. මම ඔහු ව ඔඩොක්කුවේ හිඳුවා ගෙන රස කැවිලි දුනිමි. රැල්ල පෑගීමට ගිය පිරිස ට අපි අත වැනුවෙමු. විනාඩි දහයක් පමණ එසේ ගත වන්න ට ඇත.

එක් වරම ඔහු මගේ ඔඩොක්කුවෙන් බැස මගේ අතකින් අල්ලාගෙන මුහුද පැත්තට මා අදින්නට විය. මම ඔහු සමග වෙරළ ඉම දක්වා ඇවිදගෙන ආවෙමි. ඔහුගේ සිඟිති පය ට ඉහළින් ජලය ගලා යත්ම ඔහු කිංකිණි හඬ නංවමින් සිනහසුණේය. එයට වඩා ලොකු රැල්ලක් පැමිණ දණහිස් දක්වා ම තෙමා දමද්දී පොඩි එකා ලොකු සතුටකින් හක හක ගාමින් සිනාසුණේය. මම ඔහු සමග මද වේලාවක් රැල්ල පාගමින් හිඳ ඉන්පසු ඔහු ව වටයක් කරකවා ආදරයෙන් මුහුණ සිඹ ඔහු ව උකුලේ තබාගෙන මව්පියන් වෙත ගියෙමි.

“මෙයා හරි ම ෂෝක්.. හරිම හුරුබුහුටියි..” මම ඔවුන් ට කීවෙමි.

“මෙයා හරිම බයයි වතුරට. හරි පුදුම හිතුණා ඔයත් එක්ක රැල්ල පාගනවා දැක්කම.” ඔවුහු කීහ.

පුංචි පුතා මගේ අතකින් අල්ලාගෙන මා මුහුද පැත්තට ඇදගෙන ගිය ආකාරය මම ඔවුන් ට කීවෙමි.

“ඔයාලගෙ ලොකු පුතාගෙ නම ඇලෙක්ස් නේද..? මටත් පුතෙක් ඉන්නවා ඇලෙක්ස් කියලා. මේ පොඩි පුතාගෙ නම මොකක්ද..?”

“කැමරන්..”

මගේ හදවත නතර විය. මම ගල්ගැසී බලා සිටියෙමි. මා පුංචි කැමරන්ගේ ඇස් දෙක දෙස බලාසිටියේ මගේ අහිමි වූ පුතු කැමරන් ඒ තුළින් දකින්නට ය. මා බලාසිටිනවා දුටු පුංචි කැමරන් වහා ම මා ළඟට ආවේය. මට පහත් වන ලෙස අතෙන් සන් කළේය. මම වැල්ලේ දණගසා ගතිමි. ඔහු මගේ කම්මුල ට ආදරණීය පුංචි හාද්දක් දී දිව ගියේය.

පෙර ලිපි සියල්ල මෙතැනින් කියවන්න..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි