×

ලිට්ල් මර්මෙයිඩ් හා ඇමරිකානු ජාතිවාදය!

ද ලිට්ල් මර්මෙයිඩ් චිත්‍රපටයේ ඒරියල් ගේ චරිතය නිරූපණය කිරීමට කළුජාතික කතක් යොදාගැනීම තම ළමා කාලයේ සොඳුරු මතකයන් විනාශ කිරීමක් බව ඩිස්නි රසිකයෝ පවසති!


සොබාදහමෙන් ලද දායාදය, ජීවීන් අතර විවිධත්වය, හා එහි විසිතුරු බව විඳීමට අප කවුරුත් කැමතිය. එහෙත්, අවාසනාවකට මෙන් මිනිසා අතර පවතින විවිධත්වය හමුවේ එකඟතාවකට පැමිණීමට තවමත් අප අරගල කරන ජාතියක් වීම ඛේදවාචකයකි. එය මුළුමහත් රටක් කම්පනයට පත් කළ පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමඟ පැමිණි පසුවිධ ධාරා මැනවින් ඔප්පු කරන ලදී.

ජාතිවාදය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව, මානව විවිධත්වය හා හිමිකම් වලට ගරු කිරීම අතින් ගව් ගණනක් ඉදිරියෙන් සිටින්නේ යැයි කියාගත් බටහිර රටවල ද තවමත් විටින් විට මතුවන බවට මැනවින් ඔප්පු වන සිදුවීමක් පසුගිය දිනවල ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා විණි. මෙම ජාතිවාදී සංවාදය මතුවූයේ, ඩිස්නි සමාගම 1989 වර්ෂයේ මුල්ම වරට ඉදිරිපත් කළ පුංචි දියකිඳුරියගේ සදාදරණීය සම්භාව්‍ය කාටුන් කතාන්දරය “ද ලිට්ල් මර්මෙයිඩ්” සජීවී චිත්‍රපටයක් ලෙසින් එළි දැක්වීමට මේ දින වල නිශ්පාදන කටයුතු වල නිරත වන බවට පැතිර ගිය ප්‍රවෘත්තියත් සමඟිනි.

ඒ, පුංචි දියකිඳුරිය ඒරියල් ගේ චරිතයට මෙවර පණ පොවන්නේ කළු ඇමරිකානු ජාතික යුවතියක් යැයි ඩිස්නි සමාගම ප්‍රකාශයට පත් කිරීමත් සමඟය!

එම පුවත ලද නැනෝ තත්ත්පරයෙන් සමාජ මාධ්‍යජාල ගිනිබත් වන්නට පටන් ගැණින. හේල් බෙයිලි නම් ඒ කළු ඇමරිකානු ජාතික යුවතිය ඒරියල් ගේ චරිතයට පණ පෙවීමට සූදානම් බව සැලවීමත් සමඟ සමාජ මාධ්‍ය ජාල පුරා (විශේෂයෙන් ට්විටර් ජාලයේ) හෑෂ්ටැගයක් නිකුත් කරමින් ලොව පුරා ඩිස්නි රසිකයන් එයට විරෝධය පාන්නට විය. #NotMyAriel නම් හෑෂ්ටැගය නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කර සිටියේ 1989 ද ලිට්ල් මර්මෙයිඩ් කාටුනයේ සිටි රතු හිසකේ සහිත සුදු සමැති ඒරියල් නම් දියකිඳුරියගේ ස්වරූපය විනාශ නොකරන ලෙසය.

මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද? බටහිර රටවල පමණක් නොව අප කුඩා කළද අසා ඇති පරිදි පුංචි දියකිඳුරිය ගේ කතාන්දරය සුරංගනා කතාවකි. සැබෑ ලෝකයේ දියකිඳුරියන් වසන්නේ නැත. එලෙස වසන්නේ යැයි මොහොතකට උපකල්පනය කළද, ගොඩබිම වසනා අපට පෙනෙන්නට දියකිඳුරියන් ගොඩබිමට පැමිණෙන්නේ ද නැත. එහෙයින් දියකිඳුරියකගේ සමේ වර්ණය කෙබඳු දැයි තීරණය කිරීමට ඔබට ඇති අයිතිය කුමක්ද? ලොව පුරා වසන ඩිස්නි රසිකයන් අමතක කළ කරුණක් වන්නේ ද ලිට්ල් මර්මෙයිඩ් යනු කාටුනයක් පමණක් බවත්, එය හුදෙක් සුරංගනා කතාවක් මිස සැබෑ ලෝකයේ සිදුවූ වෘතාන්තයක් නොවන බවත් ය. 

සුරංගනා කතාවක් තුළ වර්ණභේදය පැවතීම අතිශය අප්‍රසන්න කරුණකි. සුරංගනා කතා නිමවී පවතින්නේ කුඩා කළ දරුවන්ගේ සිහින ලොව අලංකාර කිරීමට, හා සැබෑ ලොවින් මඳකට මිදී මවාගත් ලොවක් තුළ කාලය ගත කිරීමට අප හට පවතින ගැලවුම් මඟක් ලෙසිනි. සැබෑ ලෝකයේ අපට කිසිදා ලබා ගැනීමට නොහැකි දෑ සුරංගනා කතා තුළින් ලබා ගනී. පුංචි දියකිඳුරියගේ කතාන්දරය ඩිස්නි සමාගම විසින් 1989 වර්ෂයේ කාටුනයක් ලෙස මුල්ම වරට ඉදිරිපත් කරනා විට, එවකට සිටි චිත්‍රපට නිශ්පාදකයන්ගේ සිතට නැඟුණු පරිදි ඒරියල් රතු හිසකේ හා සුදු සමැති කතක් ලෙස චිත්‍රයට නඟන්නට ඇත.  

ද ලිට්ල් මර්මෙයිඩ් කතාන්දරයේ පැමිණෙන ඒරියල් නම් පුංචි දියකිඳුරිය ගායනයට අතිදක්ෂ චරිතයක් බව මුල් කෘතිය නැරඹූ ඕනෑම පුද්ගලයකු දනී. ඩිස්නි සමාගම විසින් 1989 වර්ෂයේ එළි දැක්වූ ද ලිට්ල් මර්මෙයිඩ් කාටුනය සංගීතමය චිත්‍රපටයකි. නව ද ලිට්ල් මර්මෙයිඩ් චිත්‍රපටයේ ඒරියල් ගේ චරිතයට තොරා ගත් හේල් බෙයිලි නම් කළු ඇමරිකානු ජාතික යුවතිය එම චරිතයට ගැළපෙනම අතිවිශිෂ්ඨ ගායන හැකියාවකින් යුත් පුද්ගලයෙකි. එමෙන්ම, ඩිස්නි සමාගම පවසා සිටි අන්දමට, ඒරියල් ගේ අහිංසක හා අධිෂ්ඨානශීලී පෞරෂත්වය, හා කරුණාවන්ත හදවත ඒ අන්දමින් ම හේල් බෙයිලි නම් යුවතියට පැවතීම නිසා ඈ විශේෂයෙන්ම මෙම චරිතයට තෝරා ගෙන ඇත.

එහෙත් ඛේදවාචකයක තරම යනු, ඇමරිකානුවන්ගේ, හා ඇතැම් ලෝපතල ඩිස්නි රසිකයන්ගේ ජාතිවාදී මෘගයා පිටතට පැමිණියේ, හේල් බෙයිලි ඒරියල් ගේ චරිතයට පණ පෙවීමට ප්‍රභල විරෝධයක් එල්ල කරමිනි. ඔවුන්ගේ තර්කය වූයේ, සුදු සමැති රතු හිසකේ ඇති ඒරියල් ගේ චරිතයට කළු ජාතික කතක් යොදා තම ළමා කාලය විනාශ නොකරන ලෙසයි.

1989 ද ලිට්ල් මර්මෙයිඩ් කතාන්දරයේ ඒරියල් ගේ ළඟින්ම සිටි සෙබැස්ටියන් නම් කකුළුවා ට හඬ කවන ලද්දේ ජැමෙයිකානු ජාතික හඬ කැවීමේ ශිල්පියකු වන සැමුවෙල් ඊ රයිට් විසිනි. එවිට කිසිවකුත් විරෝධතාව මතුකළේ නැත. සාගරයට ජාති‍භේද, වර්ණභේද නැත. සාගරය අන්තර්ජාතික ය. එපමණක් නොව, එම කතාන්දරයේ දුෂ්ටයා ගේ චරිතය නිරූපණය කළ අර්සුලා නම් කාන්තා බූවල්ලා ගේ චරිතයට එදා පණ පෙව්වේ සුදු ජාතික හඬ කැවීම් ශිල්පිණියක් වන පැට් කැරොල් ය. මෙවර පණ පොවන්නේ සුදු ජාතික හොලිවුඩ් නිළියක් වන මලීසා ම’කාර්ති විසිනි. 

අර්සුලා ගේ සම දම් පැහැතිය. ඈගේ බාහිර පෙනුමේ කිසිදු “සුදුජාතික” බවක් ඇත්තේ නැත. දම් පැහැති සමක් ඇති අර්සුලා නම් කාන්තා බූවල්ලා ගේ චරිතයට සුදු ජාතික ගැහැණියක පණ පෙවීමට කිසිවකුත් විරෝධය නොපාන්නේ ඇයි? 

ඩිස්නි සමාගම තම සම්භාව්‍ය සුරංගනා කතා සජීවී චිත්‍රපට ලෙසින් යළි ආවර්ජනය කිරීමේදී සුදු ජාතිකයන් වෙනුවට කළු ජාතිකයන් යොදාගත් පළමු අවස්ථාව මෙය නොවේ. #NotMyAriel හෑෂ්ටැගය කරපින්නා ගත් ඩිස්නි රසිකයන් හට දැන් එය අමතක වී ඇත. 1997 වර්ෂයේදී, ඩිස්නි සමාගම The Wonderful World of Disney නම් වැඩසටහන හරහා සින්ඩරෙල්ලා සුරංගනා කතාව සජීවී චිත්‍රපටයක් ලෙසින් එළි දක්වන ලදී. එහි සින්ඩරෙල්ලා ගේ චරිතයට බ්‍රැන්ඩි නෝර්වුඩ්ද, ෆේරි ගොඩ්මදර් ගේ චරිතයට ව්හිට්නි හුස්ටන් ද, රැජිණ ගේ චරිතයට ව්හුපි ගෝල්බර්ග් ද රංගනයෙන් දායක විණි. මොවුන් සියල්ල කළු ජාතිකයන් ය. එවිට කිසිවකුත් එය ප්‍රශ්ණ කළේ නැත.

සුරංගනා කතාවක් ඉදිරිපත් කළ යුත්තේ සුදු ජාතිකයන් නියෝජනය වන අන්දමින් පමණක් ද? එවන් සිතුවිල්ලක් හෝ ඔබ තුළ ඇතිවන්නේ නම් එය අප්‍රසන්න බව මතක තබා ගත යුතුය. හොලිවුඩය තුළ තවමත් සැඟවුණු ජාතිවාදය, ලිංගිකත්වවාදය, කාන්තාවිරෝධීබව, උසමිටි බව හා ස්ථුලතාවය මත වෙනස්කම් කිරීම, සමරිසිභීතිකාව වැනි දෑ පවතින බව නොරහසකි. 2015 වර්ෂයේ ෆැන්ටෑස්ටික් ෆෝ නම් චිත්‍රපටයේ හියුමන් ටෝර්ච් නම් චරිතය මාර්වල් චිත්‍ර කතා වලට පටහැනිව කළු ජාතික තරුණයකු වන මයිකල් ජෝර්ඩන් විසින් නිරූපණය කිරීමේදී ද මෙවැනිම විරෝධයක් මතු විණ. මාර්වල් සිනමැටික් යුනිවර්ස් හි නික් ෆියුරි ගේ චරිතයටද චිත්‍ර කතා වලට පටහැනි ව සැමුවෙල් ජැක්සන් නම් කළුජාතික නළුවා තෝරා ගැනීමේදී ද මෙවැනිම විරෝධයක් එල්ල විණි. ස්පයිඩර් මෑන් හෝම්කමිං චිත්‍රපටයේ එම්ජේ ගේ චරිතයට සෙන්ඩායා නම් හොලිවුඩ් නිලිය තෝරා ගැනීමේදී ද මෙවැනිම විරෝධතාවක් එල්ල විණි. 

හේල් බෙයිලි නම් තරුණ යුවතිය හොලිවුඩයට පැමිණීමට ප්‍රථම යූටියුබ් චැනලයක් පවත්වා ගෙන ගිය ගායිකාවකි. ඇගේ යූටියුබ් චැනලයේ ඈ හා ඇගේ සොයුරිය සමඟ ගායනා කළ කවර් ගීත රාශියක් ඇත. ඇගේ කුසලතාවන් දැක අමන්දානන්දයට පත්වූ සුපිරි ගායිකා බියොන්සේ ඈ හට අවස්ථාවක් ලබා දුන්නේ නිල වශයෙන් ම ගායිකාවක් ලෙස තම ජීවිතය ගොඩනඟා ගැනීම සඳහා ය. ඒ තුළින් ම විවිධ කතා මාලා වල රංගනයෙන් දායක වීමට ද ඈට අවස්ථාව හිමිවිය.

ඒරියල් ගේ චරිතය කළුජාතික කාන්තාවක් නිරූපණය කිරීම සැබවින්ම ඔබගේ ළමා කාලය විනාශ කරන්නේද? පුංචි දියකිඳුරියගේ සම සුදු පැහැති වියම යුතුද? මෑත ඉතිහාසය තුළ ඩිස්නි සමාගමට එල්ල වූ ප්‍රභලතම චෝදනාව වූයේ මුල් කෘති නව සජීවී චිත්‍රපට ලෙසින් යළි එළිදැක්වීමේදී මුල් කෘති හා නව සජීවී කෘති අතර එතරම් වෙනසක් නොමැතිව ඉදිරිපත් කිරීම හා එකම දෑ නැවත නැවත පෙන්වා ප්‍රේක්ෂකයන් හට එපා කරවන බව ය. එහෙත්, ඒරියල් ගේ චරිතයට කළු ජාතික කාන්තාවක් තෝරා ගන්නා විට එයට ද විරෝධය පෑම ඩිස්නි රසිකයන්ගේ කුහකත්වය නොවේද? සුදුජාතික ආධිපත්‍යමය මානසිකත්වය හා ජාතිවාදී චින්තනය නොවේද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි