×

සිරගත කිරීම ගැන කතා කරන ලෝ ප්‍රකට මැග්නා කාර්ටා ගිවිසුම සොරකම් කර මිනිසෙක් සිරගත වෙයි!

ලෝ ප්‍රකට මැග්නා කාර්ටා ගිවිසුම සොරකම් කළ මිනිසාගේ කතාව - පැති රැසක් ඇති කතාවකි.


ලෝකයේ පළමු මානව හිමිකම් ලේඛනය ලෙස ඓතිහාසික කීර්තියක් හිමි මැග්නා කාර්ටා ගිවිසුම සොරකම් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු සිරගත කර තිබේ.

එක්සත් රාජධානියේ කෙන්ට් හි පදිංචි 47 හැවිරිදි මාක් රොයිඩන්, චැප්ටර් හවුස් හි ප්‍රදර්ශනයට තබා තිබූ මෙම ගිවිසුමේ එක් පිටපතක් සොරකම් කිරීමට චෝදනා ලැබුවේ 2018 ඔක්තෝබර් මාසයේ ය.

එම සාපරාධී චෝදනාවට ඔහු වරදකරු බවට තීන්දු කර පෙබරවාරි 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙහිදී ඔහු විසින් එම ගිවිසුම බහා බිත්තියේ සවිකර තිබූ ආරක්ෂිත වීදුරුව, මිටියක් ආධාරයෙන් බිඳ දමා ඇත.

එහිදී එම ස්ථානයට ළඟා වීම සඳහා සියලු සීසීටීවී උපකරණ මග හැර, මිටියක්, අත්වැසුම් සහ සේෆ්ටි ගොගල්ස් වලින් ද සන්නද්ධව පැමිණ තිබිණි.

එහිදී සිදුවූ පාඩුව පවුම් 14,466 ක් ලෙස ගණන් බලා තිබේ.

ගිවිසුම සොරකම් කළේ මිනිසුන් වෙනුවෙන්ලු!

මාක් රොයිඩන්, සොරකම් කරන්නට ගොස් හසු වූ විට පොලිසියට කියා තිබුණේ අපූරු කතාවකි.

අවුරුදු 805 ක් පැරණි මෙම ගිවිසුම අත්පත් කරගෙන, එයින් රටේ පුරවැසියන්ගේ නීත්‍යානුකූල අයිතීන් නැවත ස්ථාපනය කිරීමට තමන් ට අවශ්‍ය වූ බව ඔහු කියා ඇත.

එය බොරුවක් බව සනාථ වූයේ යැයි පොලිසිය පවසයි.

සියලු සංස්කරණ සහිත මැග්නා කාර්ටා ගිවිසුම අන්තර්ජාලය ඔස්සේ නොමිලේ කියවිය හැකිය. මෙතැනින්..

සොරකමට උත්සාහ කිරීමෙන් පසුව පළා යන විට ඔහුව අල්ලා දී තිබුණේ අවට සිටි මිනිසුන් විසින් බව ද වාර්තා වේ.

ලෝකයටම තිබෙන්නේ ගිවිසුමේ පිටපත් 4 යි!

මුළු ලෝකයටම අද වන විට ඉතිරිව තිබෙන්නේ මේ මාහැඟි මානව හිමිකම් ලේඛණයේ පිටපත් 4 ක් පමණි. සැලිස්බරි ආසන දෙව්මැදුරේ තබා තිබුණේ එයින් එකකි.

මොළයට හානි වූ අයෙක්!

මාක් රොයිඩන් මීට පෙර අපරාධ චෝදනා 51 ක් සහිත, එයින් 23කට වරදකරු වූ අයෙකි. සොරකම සහ අපරාධ හානි ද ඒ අතර වේ.

කෙසේ නමුත් 1991 වසරේදී මෝටර් රථ අනතුරකට ලක්වීමෙන් අනතුරුව ඔහුගේ මොළයට හානි වී ඇති අතර, ඔහුව භාරකාරයෙකු විසින් රැකබලා ගැනීම ද සිදුකරයි. තවද ඔහුගේ වෛද්‍ය ගාස්තු සඳහා විශාල වියදමක් දැරීමට ද සිදුවන බව සඳහන් ය.

විනිසුරුගෙන් අපූරු ප්‍රකාශයක්

මාක් රොයිඩන්ට වාසිදායක ලෙස මේ කරුණු ඉදිරියේදී මානුෂික පදනමක් මත සලකා බැලීමට ද ඉඩ තිබේ.

කෙසේ නමුත් නඩුව විභාගයට ගත් රිචඩ් පාක්ස් විනිසුරුවරයා ජූරිය අමතා අපූර්ව ප්‍රකාශයක් කළේය. එයට පදනම් වන්නේ මැග්නා කාර්ටා ගිවිසුමේ ඇති අතිශය වැදගත් වගන්තියකි. එනම්, ‘‘කිසිදු නිදහස් මනුෂ්‍යෙයකු නීතියෙන් නියම කරනු ලබන නීත්‍යානුකූල තීන්දුවකින් මිස අන් ලෙසකින් සිරගත නොකළ යුතුය/නිදහස අහිමි නොකළ යුතුය‘‘ යැයි ලෝකයේ මුල්ම වතාවට සඳහන් වන්නේ එහි ය.

මේ අනුව රිචඩ් පාක්ස් විනිසුරු මෙසේ කියයි.

‘‘මේ වගඋත්තරකරු ලක්වන්නේ කිසිදු නිදහස් තැනැත්තෙකු නීත්‍යානුකූල විනිශ්චයකින් මිස අන් ලෙසකින් සිරගත නොකළ යුතුය‘ යැයි සඳහන් වන මැග්නා කාර්ටා ගිවිසුම සොරකම් කිරීම සඳහා වීම උත්ප්‍රාසයකි.. මෙය තීරණය කිරීම දැන් මේ අධිකරණයට පැවරී ඇත..‘‘

කෙසේ නමුත් අවසානයේ, ලෝකයේ ප්‍රථම වතාවට නිදහස් මිනිසෙකු සිරගත කිරීම ගැන කතා කරන මැග්නා කාර්ටා ගිවිසුම නිසාම, මිනිසෙක් සිරගත වී සිටියි!

මොකක්ද මේ මැග්නා කාර්ටා ගිවිසුම?

මධ්‍යතන යුගයේ ලතින් භාෂාවෙන් ‘නිදහස පිළිබඳ ශ්‍රේෂ්ඨ ප්‍රඥප්තිය‘ “the Great Charter of the Liberties” යන අරුත දෙන මැග්නා කාර්ටා ගිවිසුම, 1215 වසරේ ජූනි 15 වැනිදා එංගලන්තයේ ජෝන් රජු විසින් රාජ්‍යය සහ පුරවැසියා අතර ඇති කරගත් ලිඛිත ගිවිසුමයි.

මෙය ලෝක මානව හිමිකම් ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් වන්නේ එවකට පැවති දේශපාලන වාතාවරණය අනුව සාම ගිවිසුමක් ලෙස ඇති කර ගත්තත්, මෙයින් සැබවින්ම අදහස් වූයේ රාජ්‍යය විසින් භුක්ති විඳින අත්තනෝමතික සහ අධිකතර බලතල සීමා කිරීමයි.

කැන්ටබරි හි අගදරගුරුවරයා විසින් මුල්වරට කෙටුම්පත් කළ මෙහි මූලික අරමුණ වූයේ අත්තනෝමතික රජෙකු ලෙස අප්‍රසාදයට පත් ව සිටි එංගලන්තයේ ජෝන් රජු සහ කැරළිකාර බැරන්වරුන් (වංශාධිපතීන්) අතර සාමය ඇති කිරීමයි.

16 වන සියවස අගභාගය වන විට මැග්නා කාර්ටා ගිවිසුම පුරාණ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙසට නීතිවේදීන් හා ඉතිහාසඥයන් අතර විශාල පිළිගැනීමක් ලබාගෙන තිබුණේය. අද පවා ඉංග්‍රීසි නීතියේ එන පුද්ගල නිදහස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවල මුල් ගල ලෙස සැලකෙන්නේ, ලෝකයේ ප්‍රථම මානව හිමිකම් ලේඛනය ලෙස සැලකෙන මැග්නා කාර්ටා ගිවිසුමයි.

1787 ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමට පදනම දැමුවේ ද මැග්නා කාර්ටා ගිවිසුම විසින් බවට මතයක් තිබේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි