×

මහතීර් මොහොමඩ් ඉල්ලා අස්වෙයි

මැලේසියාව ගොඩනැංවූ පියා වශයෙන් සැලකෙන මහතීර් මොහොමඩ් අද දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය මැලේසියානු රජු වෙත භාරදුන්නේය.


මෙය, 94 හැවිරිදි මහතීර් මොහොමද් සහ, ඔහුගේ දීර්ඝකාලීන දේශපාලන ප්‍රතිමල්ලවයා වන 72 හැවිරිදි අන්වර් ඊබ්‍රාහිම් අතර පවතින බල අරගලයේ උච්චතම අවස්ථාවක් ලෙස සැලකේ.

විචාරකයන් පෙන්වා දෙන්නේ, මෙම ඉල්ලා අස්වීම නව ආණ්ඩුවක් පිහිටුවාගැනීමට අඩිතාලම දැමීමක් බවයි.

ඉල්ලා අස්වීමේ ලිපියේ පේළි 2 යි!

මහතීර් මොහොමඩ් අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපියේ පේළි 2 ක් පමණක් තිබීම ද විශේෂත්වයකි. එහි දැක්වෙන්නේ අද දින ක්වාලාලම්පූර් වේලාවෙන් පස්වරු 1 ට ඉල්ලා අස්වන බව ය.

මැලේසියානු ආණ්ඩුවත් පෙරළෙයි

මේ අනුව මහතීර් මොහොමද්ගේ පක්ෂය වන පාටි ප්‍රිබුමි බර්සාතු මැලේසියා (Parti Pribumi Bersatu Malaysia) ද සන්ධාන රජයෙන් (බලාපොරොත්තුවේ සන්ධානය (හරපාන් කොලිෂන්) ඉවත් වී ඇත.

ඒ බව සඳහන් වන්නේ පක්ෂ නායක මුහයිදීන් යාසින් විසින් පළ කර ඇති සමාජ ජාල පෝස්ටුවක ය.

උණුසුම් සති අන්තයක්

ගතවූ සති අන්තය මැලේසියානු දේශපාලන පොරපිටියට අතිශය උණුසුම් සති අන්තයක් විය. වාර්තා වූයේ මහතීර්ගෙන් පසු අගමැති තනතුරට පත්වීමට බලා සිටින අන්වර් ඊබ්‍රාහිම්ගෙන් තොරව නව ආණ්ඩුවක් පිහිටුවීමට මහතීර් මොහොමද් කටයුතු සැලසුම් කරමින් සිටි බවයි.

2018 දීත් මිතුරෝ

අන්වර් ඊබ්‍රාහිම් – Nikkei Asian Review

මහතීර් මොහොමද් සහ අන්වර් ඊබ්‍රාහිම් 2018 මහ මැතිවරණයට ද එක්ව තරග කළ අය ය. එහිදී අගමැති නජීබ් රසාක් බලයෙන් පළවා හරින්නට මේ දෙදෙනාගේ එකමුතුව සමත් විය. ඒ වන විට ඔවුන් දෙදෙනා අතර ඇති වූ එකඟතාවය අනුව මහතීර් මොහොමද් විසින් නිශ්චිත කාලයකට පසුව අන්වර් ඊබ්‍රාහිම් වෙතට බලය ලබාදිය යුතු වුවත්, ඔහු එය දිගින් දිගටම කල් දමා තිබුණේ පොරොන්දු කඩ කරමිනි. මේ තත්වය මහතීර් සහ අන්වර් අතර පිටතට පෙනෙන ආකාරයේ බල අරගලයක් නිර්මාණය කිරීමට සමත් විය.

1981 වසරේ සිට 1998 වසර දක්වා මහතීර් මොහොමද්ගේ දෙවැනියා ලෙස කටයුතු කළේ ද අන්වර් ඊබ්‍රාහිම් ය. නමුත් මූල්‍ය අර්බුදයක් කෙසේ මෙහෙයවිය යුතුද යන්න පිළිබඳ ඇතිවූ මතභේදයක් මත මහතීර් මොහොමද් 98 වසරේදී අන්වර් ඊබ්‍රාහිම් ව සිය කණ්ඩායමෙන් පළවා හැරියේය.

ඉන් අනතුරුව පුරුෂ මෛථුනය සම්බන්ධයෙන් චෝදනා කර අන්වර් ඊබ්‍රාහිම් ව සිරගත කළ අතර, ඔහු පසුව පවසා සිටියේ එය මහතීර් මොහොමද්ගේ කුමන්ත්‍රණයක් බවයි.

කෙසේ නමුත් මැලේසියාවේ ඇති වී ඇති නවතම බල පෙරළිය ඉදිරි දින කිහිපයේදී ආසියානු කලාපයට තීරණාත්මක ලෙස බලපානු ඇත.

පෙර ලිපිය –

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් අත්අඩංගුවට



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි