×

ඔක්ස්ෆර්ඩ් කෝවිඩ් වැක්සිනයේ පුරෝගාමිනිය – ශ්‍රී ලංකාවේ උපන් මහේෂි එන්. රාමසාමි

ශ්‍රී ලංකාවේ ඉපිද එක්සත් රාජධානියේදී වෛද්‍ය අධ්‍යාපනය සම්පූර්ණ කළ ආචාර්ය, වෛද්‍ය මහේෂි රාමසාමි අද වන විට ලෝ ප්‍රකටව සිටින්නේ කෝවිඩ්-19 ගෝලීය වසංගතය සඳහා සොයාගෙන ඇති වඩාත්ම පිළිගත හැකි එන්නතේ පුරෝගාමිනිය ලෙස ය.


ඇය විසින් ඔක්ස්ෆර්ඩ් සරසවියේ ක්‍රයිස්ට් කොලෙජ් වෙතින් වෛද්‍ය උපාධිය ලබා ඇති අතර, ආසාදන රෝග සහ සායනික වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් හා ලන්ඩන් වෛද්‍ය ආයතනවල විශේෂඥ පුහුණුව ලැබුවාය.

අද වන විට ඔක්ස්ෆර්ඩ් සරසවියට අනුබද්ධිත NHS Foundation Trust හි සේවය කරන ඇය, සරසවි කථිකාචාර්යවරියක් ද වේ. ඒ අනුව මෙගන් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන කථිකාචාර්යරියක ලෙස ඇය කටයුතු කරයි.

ඔක්ස්ෆර්ඩ් වැක්සින් කණ්ඩායමේ (Oxford Vaccine Group) ප්‍රධාන නියමුවරියක (a Principal Investigator) වන ඇය, ඔක්ස්ෆර්ඩ් සරසවියේ සම්මානිත ජ්‍යේෂ්ඨ සායනික වෛද්‍ය කථිකාචාර්යවරියක ද වේ.

ලෝ ප්‍රකට වෛද්‍ය ජර්නලයක් වන ලැන්සැට් ජර්නලය විසින් ඔක්ස්ෆර්ඩ් කෝවිඩ් වැක්සිනය හෙවත් ChAdOx1 nCoV-19 vaccine පිළිබඳ පළ කර ඇති පර්යේෂණ පත්‍රිකාවේ මුලින්ම සඳහන් වන්නේ Maheshi N Ramasamy හෙවත් ඇගේ නම වීම, මේ අනුව අහම්බයක් නොවේ.

මහේෂි රාමසාමි, විද්‍යාඥයන් දෙපළකගේ දරුවෙකි. ඇගේ මව,  මහාචාර්ය මන්ත්‍රී සමරනායක රාමසාමි ය. කොළඹ විසාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ මන්ත්‍රී සමරනායක, කොළඹ විශ්ව විද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ පළමු පෙළ ගෞරව උපාධියක් ලබා පසුව පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්වයක් ලැබ කේම්බ්‍රිජ් සරසවියට ආවාය. ඉන්පසු කේම්බ්‍රිජ් සරසවියෙන් Ph.D උපාධිය ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වූවාය. ඇය විවාපත් වූයේ පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා කේම්බ්‍රිජ් සරසවියට ලංකාවෙන් පැමිණ සිටි දමිල විද්‍යාඥයෙකු වන රන්ජන් රාමසාමි සමග ය. ඔවුන් විවාපත් වන්නේ ද කොළඹදී ය.

එම විවාහය විද්‍යාඥයන් දෙපළකගේ සහයෝගිතාවක් වූ අතර ඔවුහු දෙපළ කීට විද්‍යාව සහ ප්‍රතිශක්තිකරණ විද්‍යාව සම්බන්ධව අන්තර්ජාතිකව කීර්තියට පත් විද්‍යාඥයන් යුවළක් බවට පත්වූහ. කේම්බ්‍රිජ් සරසවියේ අධ්‍යයන කටයුතුවලින් පසුව සෞදි අරාබියේ දම්මාන් සරසවියේ කථිකාචාර්යවරුන් බවට පත් වූ ඔවුන් පසුව කොළඹට පැමිණෙන්නේ මහේෂි රාමසාමි දියණියට උපත ලබාදීම සඳහා ය. පසුව කෙන්යාවේ නයිරෝබි නුවර සේවය කරන ඔවුහු, 80 දශකයේ මුල භාගයේ යාපනය වෛද්‍ය විද්‍යාලයේ ද කථිකාචාර්යවරු ලෙස කටයුතු කරති. ඉන්පසුව ඇමරිකාවේ සැන්ඩියගෝ සහ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස් සරසවියේ ද සේවය කරති. මහාචාර්ය මන්ත්‍රී සමරනායක රාමසාමි, ලංකාව සමග පැවති සම්බන්ධය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගිය අතර, 1999 වසරේදී ශ්‍රී ලංකාවේ Sri Lanka Association for the Advancement of Science (SLAAS) හි මහලේකම්වරිය බවට ද පත්වූවාය. කීර්තිධර චරිතයක් වශයෙන් ඇය 2016 දී ලංකාවේ මහනුවරදී මිය යන අතර, ඒ පිළිබඳ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ ලිපියක දැක්වෙන්නේ ඇය, සිය එකම දියණිය වූ මහේෂි පිළිබඳව අතිශයින් ආඩම්බර වූ බවයි. කේම්බ්‍රිජ් සරසවියේ වෛද්‍ය පීඨයට ඇයව තෝරාගැනීම මහාචාර්ය මන්ත්‍රී රාමසාමිගේ සිහිනයක් සැබෑ වීමක් බව කියැවේ.

අද වන විට දරු තිදෙනෙකුගේ මවක ද වන මහේෂි රාමසාමි ඔක්ස්ෆර්ඩ් කෝවිඩ්-19 වැක්සිනය සම්බන්ධ පර්යේෂණ නිසා මේ වන විට ජාත්‍යන්තර සම්භාවනාවට පත් වෙමින් තිබේ. ඇගේ පවුල් ඉතිහාසය ගැන මේ විස්තර අප සොයා පළ කරන්නේ අප මේ ඔක්ස්ෆර්ඩ් විද්‍යාර්ථියා පිළිබඳ මුළු සිතින්ම ආඩම්බර විය යුත්තේ ඇගේ ශ්‍රී ලාංකික සම්භවය හේතුවෙන් බව අවධාරණය කරන්නට ය. ඇගේ සිංහල-දමිල සම්මිශ්‍රණය ශ්‍රී ලංකාව බහුවාර්ගික- බහුආගමික රටක් බව අපට නැවත නැවතත් සිහිපත් කර දෙයි.

එනිසා රටක් වශයෙන් අප ආඩම්බර විය යුත්තේ ඇගේ මව සිංහල ය, පියා දමිල ය යනාදී වශයෙන් ජාතිය ඇද ගනිමින් නොවේ. ඇය ශ්‍රී ලාංකික මවකගේ සහ පියකුගේ ශ්‍රී ලාංකික දියණියක වීම නිසා ය.

ලැන්සැට් ජර්නලයේ ඔක්ස්ෆර්ඩ් කෝවිඩ්-19 වැක්සිනය පිළිබඳ වාර්තාව මෙතැනින් කියවන්න..

Safety and immunogenicity of ChAdOx1 nCoV-19 vaccine administered in a prime-boost regimen in young and old adults (COV002): a single-blind, randomised, controlled, phase 2/3 trial



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි