×

කෝවිඩ් වැක්සින් පුද්ගලිකව මිලදී ගැනීමට සහ විකිණීමට හැකි රටවල් අතරට මැලේසියාවත් එක් වේ

පුද්ගලිකව කෝවිඩ් වැක්සින මිලදී ගැනීමට සහ විකිණීමට (private purchase) හැකියාව ඇති රටවල් අතරට මැලේසියාව ද එක්ව ඇත.


තායිලන්තය, ඉන්දුනීසියාව, පාකිස්ථානය, ලෙබනනය සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක්ම කෝවිඩ් අභියෝගය ජය ගැනීම සඳහා පසුගිය කාලයේදී මේ ආකාරයට පුද්ගලිකව වැක්සිනය මිලදී ගැනීම  සහ විකිණීමට හැකි කිරිම සඳහා විවිධ මුල පිරීම් සිදුකළේය.

පහත දැක්වෙන්නේ 2021 ජූනි 4 වන විට අඩුම වශයෙන් එක් වැක්සින මාත්‍රාවක් පමණක් හෝ ලබාදීමට සමත් වූ රජයන් එය සිදුකර ඇත්තේ කුමන ප්‍රතිශතයකින් ද යන්න දැක්වෙන ප්‍රස්ථාරයකි. මෙහි ශ්‍රී ලංකාව 6.1%ක් වැනි අඩු ප්‍රතිශතයක් සටහන් කරන අතර, මෙම රටවල් අතරින් කාම්බෝජය සිටින්නේ ද ලංකාවට ඉදිරියෙනි. 2021 ජූනි 4 වන විට කාම්බෝජ ජනගහනයෙන් 16%ක් එක් වැක්සින් මාත්‍රාවක් හෝ ලබාගැනීමට සමත් වී සිටියි.

පසුගිය සති අන්තයේ ශ්‍රී ලංකාවේ කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 2 (200,000) ඉක්මවා ගිය අතර, මරණ සංඛ්‍යාව 1700 සීමාව පසු කළේය. විශ්ලේෂකයන් විසින් පෙන්වා දී තිබෙන්නේ කෝවිඩ්-19 තුන්වැනි රැල්ල තවදුරටත් තීව්‍ර නොවීම පිණිස පුද්ගලික අංශය ද මේ සඳහා සහභාගි කර ගත යුතු බවයි. එයට මාර්ගය විවර කිරීම ආණ්ඩුවේ කාර්යයක් වේ.

පසුගිය සතියේ මැලේසියාව නිවේදනය කළේ ප්‍රාන්ත ආණ්ඩුවල පිහිටා ඇති ආණ්ඩුවේ රෝහල් සහ පුද්ගලික රෝහල්වලට තමන්ට අවශ්‍ය වැක්සින් මාත්‍රා ප්‍රමාණය මිලදී ගැනීමට සහ විකිණීමට හැකි බව ය. මැලේසියාවේ ජාතික කෝවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩපිලිවෙළ (NIP) යටතේ ලබාදෙන්නේ  ෆයිසර් බයොන්ටෙක්, සිනොවැක් සහ ඇස්ට්‍රා සෙනිකා පමණක් වන අතර, මෙම පුද්ගලික මිලදී ගැනීම්වලදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද මොඩර්නා සහ සිනොෆාම් ඇතුළු ඕනෑම වැක්සිනයක් මිලදී ගැනීමට එරට ආණ්ඩුව අවසර ලබාදුන්නේය. චැනල් නිව්ස් ඒෂියා (www.channelnewsasia.com) මාධ්‍ය වාර්තාවකට අනුව මෙහිදී ඔවුන් එකම කොන්දේසිය ලෙස පනවා තිබෙන්නේ ද ‘එසේ මිලදී ගත යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද එන්නත්‘ යන්න පමණක් බවයි.

‘‘ප්‍රාන්ත ආණ්ඩුවලට අවශ්‍ය එන්නත් මිලදී ගැනීමේදී ඖෂධ සමාගම් සමග පවත්වන සාකච්ඡාවලට සම්බන්ධ වන්නටත් ඒවාට සහාය ලබාදෙන්නටත් ආණ්ඩුව ලැහැස්තියි‘‘ යනුවෙන් ද මැලේසියාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධීකණය කරන අමාත්‍ය ඛායිරි ජමුල්ඩීන් පවසා ඇත.

සියලු පුද්ගලික කෝවිඩ් එන්නත් මිලදී ගැනීමට සහ විකිණීමට මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ නියාමන ඒජන්සිය (NPRA) යටතේ ලියාපදිංචි විය යුතුය. එමගින් එම වැඩපිළිවෙළ නියාමනය කිරීමට ද ආණ්ඩුවට හැකියාව ලැබේ.

කෙසේ වෙතත්, ජාතික එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ දැනට ලබාදෙන සිනොවැක් සහ ෆයිසර් බයොන්ටෙක් වැක්සින පුද්ගලිකව මිලදී ගැනීමට සහ විකිණීමට යම් පාර්ශවයක් අදහස් කරන්නේ නම්, ෆෙඩරල් ආණ්ඩුවේ සැපයුම ලබාගත් පසුව පමණක් එයට ඉඩ ලැබෙනු ඇත. මෙමගින් අදහස් කරන්නේ ෆෙඩරල් ආණ්ඩුවේ වැක්සින් ඒකාධිකාරයක් පවත්වා ගැනීම නොවන බව ද අමාත්‍යවරයා පවසයි.

මැලේසියානු මධ්‍යම ආණ්ඩුව, සිය ප්‍රාන්ත ආණ්ඩුවලට පුද්ගලික වැක්සින් මිලදී ගැනීමට සහ විකිණීමට අවසර නොදීම ගැන මුලින්ම විවේචන එල්ල වූයේ මේ වසෙර් අප්‍රේල් මස ය. විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම් විසින් මෙය දැඩිව විවේචනය කර තිබුණේ ‘තමන්ට අවශ්‍ය වැක්සින් තමන්ට මිලදී ගැනීමට සහ විකිණීමට ප්‍රාන්ත ආණ්ඩුවලට බලතල ලබාදිය යුතු බව‘ කියමිනි. එම විවේචනය හුදෙක් ඉවත ලෑමෙන් තොරව මැලේසියානු ආණ්ඩුව විසින් වඩාත් සාධනීය විසඳුමක් ගැටළුවට ලබාදී ඇති බව පැහැදිලි ය.

මැලේසියාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ වූයේ පෙබරවාරි මාසයේ ය. දැන් එහි දෙවැනි අදියර ක්‍රියාත්මක වන අතර, මේ දක්වා වැක්සින් මාත්‍රා මිලියන 3.5 ක් ලබා දී තිබේ. මිලියන 1.1 ක ජනතාවක් සිය දෙවැනි මාත්‍රාවද ලබාගෙන තිබීම මෙහි විශේෂත්වයකි. මැයි 27 සිට, එරට දෛනිකව ලබාදෙන වැක්සින් මාත්‍රා ගණන ලක්ෂය ද ඉක්මවා ගොස් ඇත. ඔවුන් ගේ දැන් ඉලක්කය වන්නේ ජූලි අග වන විට දිනකට වැක්සින් මාත්‍රා ලක්ෂ 2 ක් බැගින් ලබාදීමයි.

මූලාශ්‍රය – https://www.channelnewsasia.com/news/asia/malaysia-states-hospitals-buy-covid19-vaccine-sinopharm-moderna-14939232

එක් එක් රටවල් කෝවිඩ්-19 වැක්සින් මිලදී ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා මුල පිරීම් කර ඇති ආකාරය පහත සබැඳිවල දැක්වේ.

ඉන්දුනීසියාව: https://www.aa.com.tr/en/asia-pacific/indonesia-firms-allowed-to-buy-vaccines-for-employees/2149386

ලෙබනනය: https://english.alarabiya.net/amp/coronavirus/2021/04/24/Lebanon-s-private-and-public-sectors-cooperate-on-COVID-19-vaccination-campaign

දකුණු අප්‍රිකාව: https://www.bloomberg.com/news/articles/2021-04-23/south-africa-contracts-companies-to-import-covid-19-vaccines

පාකිස්ථානය: https://www.devex.com/news/in-pakistan-covid-19-vaccines-go-on-sale-99438

තායිලන්තය: https://www.thestar.com.my/aseanplus/aseanplus-news/2021/04/08/thai-private-sector-can-import-covid-19-vaccines039

– Daily FT හි පළවූ Malaysia joins scores of other countries enabling private purchase of COVID vaccine ලිපිය ඇසුරෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි