×

මැලේසියාවට ‘කෙළිලොල්‘ රජෙක්

රුසියානු රූප සුන්දරියක හා විවාහ වූ මැලේසියානු රජු වන සුල්තාන් මුහමද් V කිරුළ අතහැර යාමෙන් පසුව මැලේසියාවේ නව නායකයා බවට පත්වන්නට යන පුද්ගලයා පිළිබඳ කෙටි වාර්තාවකි මේ.


මැලේසියාවට නව සුල්තාන්වරයෙකු තෝරාගත් බව මැලේසියානු රජය පවසයි. මෙම නව නායකයා වන තෙන්ග්කු අබ්දුල්ලා ෂා (Tengku Abdullah Shah), මීළඟ රජු ලෙස නොබෝ දිනකින් කිරුළු පළඳිනු ඇත. ඔහු සුල්තාන් පදවි ලබන්නේ සිය පියා වන සුල්තාන් අහ්මඩ් ෂා වෙනුවට ය. පහන්ග් ප්‍රාන්තයේ සුල්තාන් පදවිය ඔහු විසින් දරනු ලබයි.

මැලේසියාවේ නව රජතුමා කවුදැයි තෝරාගැනීමට නියමිත ව තිබෙන්නේ ජනවාරි 24 වැනිදා ටය. එය සිදුකරන්නේ Council of Rulers හෙවත් ‘පාලකයන්ගේ කවුන්සිලය‘ (පාලක සභාව) විසිනි.

මැලේසියාව සුවිශේෂී ආණ්ඩුක්‍රමයක් ඇති රටකි. එය රාජාණ්ඩුවක් වන නමුත්, වසර 5 න් 5 ට රජවරු මාරු වේ. මැලේසියාවේ ප්‍රාන්ත 9 පාලනය කරන රජවරුන්/සුල්තාන්වරුන් අතර රටේ රජකම හුවමාරු වේ. ඒ හුවමාරු චක්‍රය අනුව, මීළඟ රජතුමා පත්වන්නේ පහන්ග් ප්‍රාන්තයෙනි. පුතාට රජකම ලබන්නට ඉඩ දී සුල්තාන් අහමඩ් ෂා විශ්‍රාම ගෙන තිබෙන්නේ ඒ අනුව ය.

රූප සුන්දරියකට පෙම් බැඳි සුල්තාන් මුහමද් රජු, රජකම අතහැරියේ ඔහුගේ අවුරුදු 5 පිරීමට වසර 2කට පෙර ය. ඒ නිසා කඩිමුඩියේ නව රජෙකු පත් කර ගන්නට මැලේසියාවට සිදුව තිබේ. බ්‍රිතාන්‍ය පාලනයෙන් 1957 වසරේදී නිදහස ලද පසු මෙවැනි සිදුවීමක් මැලේසියානු ඉතිහාසයේ වාර්තා වූයේ පළමු වතාවට ය.

නව රජු බවට පත්වන්නට නියමිත සුල්තාන් අබ්දුල්ලා ෂා 59 හැවිරිදි ය. ඔහු ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයකි. ආසියානු හොකී ෆෙඩරේෂනයේ වත්මන් සභාපතිවරයා වන්නේ ද ඔහු ය. එසේම ෆිෆා (පාපන්දු ලෝක කුසලාන පාලක ව්‍යූහයේ) ඔහු කවුන්සිල් සාමාජිකයෙකු ද වේ.

මැලේසියාවේ රජතුමා යන්න, නාමික පදවියක් ලෙස සැලකුණත්, රාජකීයයන්ට මැලේසියානුවන් තුළ තවමත් විශේෂ ගෞරවයක් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි