×

නානයියා මහුටාගේ පච්චය ‘මොකෝ‘

නවසීලන්ත ජාතික නානයියා මහුටා එරට ඉතිහාසය අලුත් කළේ නවසීලන්තය පත්කර ගත් ප්‍රථම ස්වදේශික කාන්තා විදේශ ඇමතිනිය බවට පත් වෙමිනි.


එහෙත් ‘මොකෝ’ නමින් හැඳින්වෙන සම්ප්‍රදායික මාඕරි පච්චා සම්බන්ධයෙන් ඈ බොහෝ කලෙක සිට සංස්කෘතික රාමු බිද දමමින් සිටියා ය.

2016 වසරේ දී සම්ප්‍රදායික මාඕරි පච්චා කෙටිමේ උළෙලකට සහභාගි වීමෙන් අනතුරුව දෙතොල්වල සහ නිකටේ පච්චා හෙවත් ‘මොකෝ කඋඒ’ ඇති ප්‍රථම පාර්ලිමේන්තු සාමාජිකාව බවට ඇය පත්වූවා ය. සම්ප්‍රදායික පච්චා “මාඕරි ජනවර්ගයට අයත් වීම ගැන සංස්කෘතික ප්‍රකාශනයට සහ අභිමානය පළකිරීමට ධනාත්මක විධියක්” බව ඇය පසු ගිය අවුරුද්දේ ටිවිටර් පණිවුඩයකින් කියා සිටියා ය.

ජාතික දේශපාලනය දුලබ දසුනක් වුව ද, මුහුණේ සිදු කරන ‘මොකෝ’ සමකාලීන නවසීලන්ත සමාජයේ සුලබ බව කියැවේ. මේ පච්චා එය පැළඳ සිටින්නාට විශාල සංස්කෘතික වැදගත්කමකින් යුතු වන්නේ එය ඔවුන් ඔවුන් ගේ මුතුන් මිත්තන් හා සම්බන්ධ කරන දෘෂ්‍යමය කතාන්දරයක් කියමිනි.

සෑම පුද්ගලයා ගේ ම මොකෝව අනන්‍ය වන අතර ඒ ඒ පුද්ගලයා ගේ සමාජ තත්ත්වය, රැකියාව හෝ පෞද්ගලික හෝ පවුලේ ඉතිහාසය පිළිබද කතාන්දරයක් ඉන් කියැවේ. මහුටා ගේ පච්චය ඇය හිටපු මාඕරි රැජිණට සහ වත්මන් මාඕරි රාජ්‍යත්වයට සම්බන්ධ කරන බව සදහන් ය. මුහුණේ වම් සහ දකුණු පැත්තේ ඇති ලකුණු යමෙකු ගේ මව ගේ සහ පියා ගේ පරපුරුවලට සම්බන්ධ කරවයි.

මොකෝ කලාකරුවකු ගේ මී මුණුපුරකු ද වන වයිකාටෝ සරසවියේ මහාචාර්‍යවරයකු වන ටෙ කහඋටු මැක්ස්වෙල්ට අනුව නම්, වසර දහයට පමණ පෙර මුහුණේ පච්චයක් කෙටීමෙහි අරුත වූයේ තමා ගේ උරුමය පිළිබද අයිතිය කියාපෑමකි.

“එය ඉතිහාසඥයකු ලෙස, ශාස්ත්‍රඥයකු ලෙස කථිකයකු ලෙස හා මගේ ජනතාව වෙනුවෙන් හඩ නගන්නකු ලෙස සමාජයේ මගේ ස්ථානයටත් මගේ උරුමයටත් බද්ධ වනවා” යැයි ඔහු කියයි. “එය මටත් මගේ ජනතාවටත් ආඩම්බරයක් ගෙන දෙනවා.”

“තවදුරටත්, එය මගේ ඉතිහාසය පිළිබද පවසනවා,” ඔහු එක් කරයි. “එය මට ඉතා ගරු කටයුතු සහ වැදගත් දෙයක්.”

මාඕරි ජන කණ්ඩායමේ සාමාජිකාවක් 2012 වසරේ වෙලින්ටන් කෞතුකාගාරයේදී. මෙම කෞතුකාගාරය ක්‍රි.ව. 1700 හ 1800 යුගයට අයත් මාඕරි පච්චා සහිත ටැටූ හිස් 20 ක් මෙදින ප්‍රදර්ශනයට එක් කළේය.
Credit: Marty Melville/AFP via Getty Images

‘ට මොකෝ’ ලෙස හැදින්වෙන පච්චා කෙටීමේ කලාව, භූකම්පනවලට සහ ගිනි කදුවලට අධිපති මාඕරි දෙවියන් වන රුආඋමොකො දෙවියන් ගෙන් එම නම ගන්නට ඇතැයි සැලැකේ. මේ සම්බන්ධ ජනකතාවක් ද වේ; පුරාණෝක්තියේ සදහන් වන පුද්ගලයකු වන මටඔරො, පහත ලෝකයේ නායකයකු ගේ දියණියක් වන නිවරේකා හා පෙමින් වෙළී ඈව සරණ පාවා ගත්තේ ය.

දැඩි තරහකින් ඇයට පහර දුන් මටඔරෝ සමාව ඉල්ලමින් ඇය පසු පස පහත ලෝකය බලා ගියේ ය. එහි සිටින විට, නිවරේකා ගෙ පියා ඔහුට ‘ට මොකෝ’ කලාව උගන්වා, ඉහත ලෝකය වෙත නැවත යන්නට ඔහුට අනුමැතිය දී අනාගතයේ නරකෙන් මිදිමට සිහිකැදවීමක් ලෙස ඔහු ගේ සිරුරේ පච්චා කෙටුවේ ය.

මිය ගිය එන්ගාපුයි රජු තාව්රුහා, නවසීලන්තයේ වායිටාන්ගි හිදී (2012) කථාවක් පවත්වමින්.
Credit: Kenny Rodger/Getty Images

මොකෝ උළෙල ඓතිහාසිකව සිරිත් විරිත් සහ පූජා කර්මවලින් සමන්විත වී තිබේ. බොහො අවස්ථාවල දී මේවා තාවකාලික එළිමහන් කූඩාරම්වල සිදු කරන අතර, පච්චා කෙටීමට ලක්වන තැනැත්තාට කෑමට අවසර ඇත්තේ කැටයම් කළ පුනීලයක් හරහා ය; එසේ ආහාර ගැනීමෙන් ආසාදන වීමට ඇති ප්‍රවණතාව අඩු වේ. පච්චා කෙටීමට ලක්වන තැනැත්තා එය යථා තත්ත්වයට පත්වන තුරු ලිංගික ක්‍රියාකාරකම්වලින් ද, සේදීමෙන් ද වැළැකිය යුතු බවට බලාපොරොත්තු වේ.

සම්ප්‍රදායික ව, පිරිමි ඔවුන් ගේ මුහුණේ, තට්ටම්වල සහ කලවාවල පච්චා කොටා ගන්නා අතර කාන්තාවන්ට එය සිදු කරන්නේ ඔවුන් ගේ තොල්වල සහ නිකටේ ය.

පච්චා කෙටීම පොලිනීසියානු සංස්කෘතීන්වල බොහෝ කලක සිට සිදු කරන්නක් වුවත්, මාඕරි කණ්ඩායම් ඔවුන්ට ම අනන්‍ය වූ ක්‍රමෝපායයන් දියුණු කරගෙන තිබේ. කාබනික වර්ණ කවුරි ගස්වල ලාටු පිළිස්සීමෙන් පසු එය තෙල් හෝ එවැනි ද්‍රවයක් හා මිශ්‍ර කොට එය සමේ ඉහළැ ස්ථරයේ කුරුල්ලන් ගේ – බොහෝවිට ඇල්බට්‍රොස් කුරුල්ලන් ගේ ඇටකටුවලින් සෑදු මෙවලම් භාවිතයෙන් පච්චා කොට ඇත. (විසි වැනි සියවසේ මුල් යුගය වන විට මේ සදහා ඉදිකටු භාවිත කිරීම වඩාත් ප්‍රචලිත වූ අතර වර්තමානයේ නූතන පච්චා කෙටීමේ යන්ත්‍ර පවා භාවිත වේ.)
යුරෝපීයයන් ගේ ආගමනයත් සමග මුහුණේ මොකො ඇදිම කෙමෙන් අඩුව ගොස් ඇත්තේ ය — සංරක්ෂණය කරන ලද මාඕරි විරුවන් ගේ මුහුණුවලට යටත් විජිතවාදීන් ගිජු වීම, අපරාධකරුවන් හා මුහුණේ කොටන ලද පච්චාවල ඇති සම්බන්ධය මීට හේතු වන්නට පිළිවන.

බර්ලිනයේ ජාතික ගැලරි කෞතුකාගාරයේදී කාන්තාවක් සිය නිකට සහ දෙතොල් මොකෝ කවුවේ පච්චාවලින් සරසාගෙන. බර්ලිනය 2014.  Credit: Tobias S

එහෙත් මාඕරි දැව කැටයම් වැනි සම්ප්‍රදායික කලාවන්ට ඇති උනන්දුව වර්ධනය වීමත්, නවසීලන්ත සමාජයේ වැඩි වෙමින් පවතින පච්චාවලට ඇති පිළිගැනීමත් හේතුවෙන් ‘ට මොකෝ’ කලාව පසුගිය දශක කීපය තුළ නැවත ඉපදීමක් ලබා තිබේ. පණස් හතර වියේ පසුවන මහාචාර්‍ය මැක්ස්වෙල් පවසන අන්දමට සම්ප්‍රදායික පච්චා සාමාන්‍යකරණය වීම 1990 සහ 2000 දශකයේ ඇරැඹිණ.

“ඒ කාලයේ මේ සම්බන්ධයෙන් මාඕරි නොවන ජනයා අතර පමණක් නොව මාඕරි ජනයා අතරත් දැඩි ඍණාත්මක ආකල්ප තිබුණා. අපේ දෙමව්පියන් සහ ඊට පෙර පරම්පරාව සිතුවේ මොකො කලාව අතීතයට අයත් දෙයක් කියායි. එහෙත්, එවකට තරුණ ප්‍රජාව වූ අප මෙම කලාව මතකයක් පමණක් වනවාට කැමැති වූයේ නැහැ,” මහාචාර්‍ය මැක්ස්වෙල් පවසයි.

තමා මේ නිසා වෙනස් කොට සැලැකීමකට ලක් වී නොමැති බව පවසන මහාචාර්‍ය මැක්ස්වෙල් එය එසේ වෙතත් තමන් ගේ පිටට පෙනෙන පච්චා නිසා රැකියාවල් දීම ප්‍රතික්ශේප වූ ස්වදේශික පිරිස් ද සිටින බව කියා සිටියි.

තත්ත්වය එසේ වෙතත්, මුහුණේ පච්චා සලකුණු ඇති නවසීලන්ත සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ද සිටිති. ‘මොකො කඋඒ’ පච්චයක් ද සමග ප්‍රසිද්ධ මාධ්‍යයක ප්‍රවෘත්ති කියූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසගත වූ ජනමාධ්‍යවේදීනී ඔරිනි කයිපාරා එ වැන්නියකි.

නවසීලන්තයේ ඕකලන්ඩ් හි පැවති 2019 වසරේ Power Of Inclusion සමුළුවේදී මාධ්‍ය වේදිනී ඔරීනි කයිපාරා.
Credit: Michael Bradley/Getty Images

මේවායේ ජනප්‍රියතාව වැඩිවීමත් සමග සිදුවන අනෙක සංසිද්ධිය නම් සංස්කෘතික අනුයෝජනය (cultural appropriation) යි. මයික් ටයිසන්, රිහානා ශහ බ්‍රිතාන්‍ය පොප් ගායක රොබී විලියම්ස් මාඕරි මෝස්තරයේ පච්චා කෙටීම පිළිබද චෝදනා ලබා සිටිති.

එය එසේ වෙතත් මහාචාර්‍ය මැක්ස්වෙල් අනෙක් සංස්කෘතීන් ගෙන් මාඕරි පච්චාවලට ඇති උනන්දුව ධනාත්මක වශයෙන්, අනෙක් සංස්කෘතීන්වලට මාඕරි සංස්කෘතිය පිළිබද ඉගැන්වීමට ඇති අවස්ථාවක් ලෙස දකින්නේ ය. පසුගියදා සිදු කරන ලද විදේශ ඇමැතිනී මහුටා ගේ පත්වීම ද එවැන්නක් ලෙස දකින ඔහු එය ස්වදේශික ජනතාවට වැදගත් මොහොතක් ලෙස සලකයි. “ඇය මොකෝව එය කිසිදා ගොස් නැති තැන්වලට ගෙන යාවි; තානාපති කාර්‍යාලවලට සහ ලොව පුරා රාජ්‍යයන් වෙතට,” ඔහු කියයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි