×

බඩගින්න ගෝලය කරගත් සුපිරි පාපන්දු තරුව – මාකස් රෂ්ෆෝර්ඩ්

සතියකට පවුම් ලක්ෂ එකහමාරක් ඉපැයූවත්, මේ කළු ජාතික පොඩි කොල්ලා ඉතා වෙනස් ය. ඔහු යන්තමින් අවුරුදු 23 සපිරුවේ දැනට දින කිහිපයකට පෙර ඔක්තෝබර් 31 වැනිදා ය.


පාපන්දු ලෝකයේ අඩුම වයසකින් එනම් වයස 22 දී එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් පිලට වෘත්තීමය ක්‍රීඩකයෙකු ලෙස එක් වීමට වරම් ලද ඔහුට වෙනත් පාපන්දු තරුවලට මෙන් ‘ගෑණු ප්‍රශ්න‘ නැත. ලෝකයේ තිබෙන සුපිරිතම වාහන පැද, ඉන්පසු බීමතින් ඒවා හප්පා බවට ද ඔහුට විරුද්ධව පැමිණිලි නැත. පුද්ගලික ජෙට් යානාවකින් නිරෝධායනය සඳහා ඉතාලි ගිය රොනාල්ඩෝට වඩා පැහැදිලිවම ඔහු ඉතා වෙනස් ය.

එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් වසරකට උපයන වැටුප සතියකින් උපයනා ඔහුගේ නම මාකස් රෂ්ෆෝර්ඩ් (Marcus Rashford) ය. ඔහු ඒ උපයනා මුදලෙන් වැඩි කොටස වැය කරන්නේ ළමා දරිද්‍රතාවයෙන් බැටකන දරුවන් උදෙසා ය. ඒ වෙනුවෙන් ඔහු තනිවම මහා සටනක් කරයි. අසරණ දරුවන්ට බත් පත ඔහු තම පසුම්බියේ මුදලින් සපයා දෙයි. එයින් නොනැවතී ඒ ඉඳුල් පවා තනිවම සුද්ද කර දමයි. කුඩා දරුවන්ට නොමිලේ දිවා ආහාරය ලබාදිය යුතු බවට ගෙන ගිය මහා සටන වෙනුවෙන් නොබෝදා ඔහු MBE ගෞරවයෙන් ද පිදුම් ලැබුවේය. අනාථ දරුවන්, නිවාස අහිමි දරුවන් වෙනුවෙන් ඔහුගේ සිත සැමදා සසල වෙයි. එක්සත් රාජධානියෙන් ළමා දරිද්‍රතාවය තුරන් කර දැමීම ඔහුගේ සිහිනයයි.

ඔහු ජම්බෝ ජෙට් පදින්නේ නැත. යොට් යාත්‍රා ඔහුගේ නමට නැත. කාම සුඛල්ලිකානුයෝගයේ කෙළ පැමිණි සමකාලීන ක්‍රීඩා තරුවලට ඔහු ඇහේ ඇනෙන කටුවක් විය හැකිය. නමුත් ඔහුට ඒ කිසිවක් වගක් නැත. තමන්ගේ අසරණ ළමා විය ඔහුට කිසිදා අමතක කළ නොහැක්කා සේ ය.

ඔහු උපන්නේ ද හැදී වැඩුණේ ද ග්‍රේටර් මැන්චෙස්ටර් හි මැන්චෙස්ටර් නගරයේම ය. ඔහුගේ මව සෙන්ට් කිට්ස් දූපතේ උපත ලබා පසුව එක්සත් රාජධානියට පැමිණි සංක්‍රමණික කාන්තාවකි. ඔහුට සහෝදරයන් දෙදෙනෙක් සිටියි. පියා ගැන වැඩි විස්තරයක් නැත. තනි මවක ලෙස කොල්ලන් තිදෙනෙකුගේ කුස පුරවන්නට ඇය නොවිඳිනා දුකක් විඳින්නට ඇත. බඩගින්න ඔහුට හොඳින් පුරුදු ය. බඩගින්නේ වේදනාව ඔහු පමණටත් වඩා හොඳින් දනියි. ඔහුට විටෙක කෑමක් කියා මුළු දවසටම ලැබුණේ පාසලේදී නොමිලේ ලැබෙන කෑම වේල පමණි.

රෂ්, මව මෙලනි සමග

මැන්චෙස්ටර් නගර සභා සාමාජිකයෙකු වන ජෝන් ලීච් මෙසේ කියයි. ‘‘ගතවුණු අවුරුදු 25 ඇතුළත කිසිම දේශපාලකයෙකුට කරන්නට බැරි තරම් මෙහෙයක් රෂ්ෆෝර්ඩ් දුප්පත් දරුවන් වෙනුවෙන් මාස 6 කින් කළා..‘‘

ඔහු තවදුරටත් පැවසුවේ නගරයේ විමුක්ති සම්මානය මේ කොලුවාට දිය යුතු බව ය. ඒ වන විට 22 හැවිරිදි වූ රෂ්ෆෝර්ඩ් පාපන්දු පිටියේදී පිම්මේ දුවමින් ද, සැබෑ ජීවිතයේදී හැල්මේ දුවමින් ද බඩගින්න ගෝලය කරගෙන සිටියි.

ඔහුගේ කැපවීම සහ උනන්දුව හේතුවෙන් එක්සත් රාජධානියේ ඌන වරප්‍රසාදිත දරුවන්ට ගිම්හාන නිවාඩු සමයේදී නොමිලේ කෑම වේලක් ලබාගැනීමට හැකි විය.

රෂ් සහ සොයුරන් දෙදෙනා – අද

මේ වන විට දහස් ගණන් එක්සත් රාජධානි දරුවෝ, සිය දෙමාපියන්ගේ අඩු ආදායම හේතුවෙන් පාසලේදී නොමිලේ කෑම වේලක් ලබති. නමුත් නත්තල් නිවාඩුව වන විට මේ කෑම වේල අභාවයට පත් වනු ඇතැයි කියැවේ. ඒ අනුව මේ වසංගත සමයේදී දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ට පාසලේදී ද කුසගින්නේ පසුවන්නට සිදුවනු ඇත. ‘‘කිසිදු දරුවෙකු බඩගින්නේ නොසිටිය යුතුය‘‘ යැයි රෂ්ෆෝර්ඩ් දැඩි සේ කියන්නේ එනිසා ය.

2020 ඔක්තෝබර් 28 වැනිදා ළමා දරිද්‍රතාවය අවසන් කිරීම සඳහා වූ පෙත්සමකට ඔහු පෙරමුණ ගත්තේය. එහි අරමුණ වූයේ මුළු එංගලන්තයේම අර්ධවාර්ෂික නිවාඩුව ගත කරන දුප්පත් දරුවන්ට නොමිලේ කෑම ලබාදීම සඳහා සහ යොවුන් මව්වරුන්ගේ පෝෂණය සඳහා රජය මැදිහත් කර ගැනීමයි. ඒ පෙත්සමට අත්සන් මිලියනයක් පසුවෙන්ම එකතු විය. කැෆේ, ආපනශාලා සහ දේශීය ව්‍යාපාරිකයෝ ඔහුට සහාය දීමට නොමසුරුව ඉදිරිපත් වූහ. එය, මිලියනයක් අත්සන් එක්කාසු කර ගැනීමට සමත් වූ පාර්ලිමේන්තු පෙත්සම් පහෙන් එකකි. ජනතාව තුළ ඇති කළ මේ නැඹුරුව ඉදිරියේ කන්සවේටිව් ආණ්ඩුවට ද කරකියාගත හැකි දෙයක් නොවුණේය. මෙයට අදාළ යෝජනාව සම්මත නොවූයේ 322 ට 261 ලෙස ය. අගමැති බොරිස් ජොන්සන් ද මෙයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. නමුත් රෂ්ෆෝර්ඩ් ද සටන අතහැරීමට සූදානම් නැත.

ඔහු තරයේ කියා සිටින්නේ, 2021 පාස්කු නිවාඩුව දක්වා, මිලියන 1.5 ක් වූ දරුවන් ඇතුළු පිරිසට නොමිලේ ආහාර ලබාදෙන වැඩපිළිවෙළක් රජය විසින් සකස් කළ යුතු බව ය. සියලු වාදභේද දුරලා සියලු දේශපාලකයන් මේ වෙනුවෙන් කැප විය යුතු බව ය.

රෂ්ෆෝර්ඩ්ගේ පෙත්සම මෙතැනින් කියවන්න.End child food poverty – no child should be going hungry

අනාගත පාපන්දු ලෝකයේ නොව වත්මන් පාපන්දු ලෝකයේ ද ඔහු වීරයෙකි. ඔහු ‘මෑන් යුනයිටඩ්‘ යන කෙටි නමින් හඳුන්වන මැන්චෙස්ටර් යුනයිටඩ් පිලේ මෙන්ම එංගලන්ත ජාතික පාපන්දු පිලේ ද වෘත්තීමය සාමාජිකයෙකු බවට පත් වීම යනු, ලෝකයේ ඉහළම සැප සම්පත් ලබන්නට ලොතරැයියක් ඇදීමකි.

මුලින් ඔහුට පාපන්දු පිල සමග එක් වීම ලෙහෙසි වූයේ නැත. ඔහු අතිරේක ක්‍රීඩක ලැයිස්තුවේ බොහෝ කලක් සිටියේය. ඉන්පසු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් තුවාල ලබා තිබූ නිසා පමණක්, මුල්ම යුරෝපා සංචාරයට එක්වීමට ඔහුට හැකි විය. එහිදී සිදුවූ දේ විසින් පාපන්දු ඉතිහාසය අලුතෙන් ලියා ඇත. මුලින් ඔහුට ගෙවනු ලැබුවේ සතියකට පවුම් 500 කි. එහිදී ඔහු 5-1 වශයෙන් සිය මුල්ම යුරෝපා ජයග්‍රහණය මෑන් යුනයිටඩ් සඳහා වාර්තා කළේය. යුරෝපා තරගයකට ජ්‍යේෂ්ඨයන් සමග කරට කර ක්‍රීඩා කළ ලොව ළාබාලතමයා ඔහු ය.

දේශපාලකයන් ඇතුළු සෙසු අය කුමක් කළත් – නොකළත් ඔහු කවදත් තමන්ට හැකි දේ කරමින් සිටියි. එක්සත් රාජධානිය පළමු වරට ලොක් ඩවුන් වූ සමයේදී ඔහු සිය විවේක කාලය ගත කළේ ඉවත දමන ආහාර නැවත සකස් කර ඒවායින් දුප්පතුන්ගේ කුස පුරවන FareShare පුණ්‍යභාරය සමග ය. ඔවුන් වෙනුවෙන් ඔහු පවුම් මිලියන 20 ක් එකතු කර දීමට සමත් විය. මේ මෙහෙයුමෙන් පසු ඔහු එංගලන්ත ආණ්ඩුවට ලිපියක් ලිව්වේය. එයින් ඉල්ලා සිටියේ රටේ ළමා දරිද්‍රතාවය අවසන් කරන ලෙස ය. පසුදිනම එංගලන්ත රජය ගිම්හාන නිවාඩුව සඳහා නොමිලේ කෑම වේලක් ලබාදෙන වැඩසටහන නිවේදනය කළේය.

පසුගිය නත්තලේදී ඔහු ‘In The Box’ යනුවෙන් කැම්පේන් කළේ ද ළමා දරිද්‍රතාවය වෙනුවෙනි. ‘‘මේ නත්තල සමරන්නට නොහැකි දරුවන්ට සරණක් වෙන්නට මා සමග එක්වන්න..‘‘ යැයි ඔහු මැන්චෙස්ටර් නුවරුන්ට ආයාචනයක් කළේය. ඉතාම කෙටි කලකින් තෑගි පෙට්ටි 1200 ක් එකතු කර ගැනුණේය. එවිට ඔහු එවැනි දරුවන් ජීවත් වන නිවෙස් සොයමින් ගොස් ඔවුන්ට නත්තලට තෑගි බෙදුවේය.

දැන් දැන් ඔහු ගැන දිනපතාම පාහේ ශීර්ෂපාඨ ලියැවෙයි. අද දිනයේ (නොවැම්බර් 2) ඔහු පුවත් මවා තිබෙන්නේ high end විලාසිතා සමාගමක් වූ Burberry, ඔහු සම්බන්ධ ව සිටි යොවුන් සමාජ දෙකකට මූල්‍ය අරමුදල් ලබාදෙන්නට සැදී පැහැදී සිටින බවයි. මේ මුදලින් ලන්ඩනයේ යොවුන් මධ්‍යස්ථාන 10 ක් ද රටේ දුප්පත්කමෙන් පීඩා විඳින යොවුන් පරපුරට කුස පිරෙන කෑම සමගින් ජීවන කුසලතා වැඩි දියුණු කර ගැනීමට ලැබෙනු ඇත. මේ හවුල්කාරිත්ව ගිවිසුම තුළ  රෆ්ෆෝර්ඩ්, අවුරුදු 10 දී සිටි තමන්ටම ලියූ ලිපියක් ද වේ. එහි මෙසේ සඳහන් ය.

අද රෂ්ෆෝර්ඩ්, එදා සිටි පුංචි රෂ්ෆෝර්ඩ් ට ලියූ ලියුම

‘‘සිහින දකින්නට මම ඔයාව දිරිමත් කරනවා. මොකද, සමහරවෙලාවට අපිට තියෙන්නේම සිහින විතරයි. කොට්ටය මත හිස තබාගෙන ඇස් වහගෙන, ඉදිරියේදී උදා වෙන්නට නියමිත හොඳ දවස් ගැන කල්පනා කරන්න මම ඔයාව දිරිමත් කරනවා. දුෂ්කරතා සහ අරගලයන් නොතිබුණා නම් මම අද ඔයා ඉස්සරහ හිටගෙන ඉන්න මාකස් රෂ්ෆෝර්ඩ් වේවිද? සරල උත්තරය, නැහැ.. කිසිම දවසක උදව් ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. ඔබේ අරගලය, ඔබේ අරමුණේ ලොකුම භූමිකාව රඟපාන බව දැනගැනීමේ ආඩම්බරය හිතට ගන්න. කවදාවත් ලැජ්ජාවෙන් හිස පහත දමාගන්න එපා….‘‘

(‘‘I encourage you to dream, because sometimes dreams are all you will have. I encourage you to lay your head on the pillow and close your eyes tight and think of better days to come, because luckily for us, our dreams have come true. Would I be the Marcus Rashford you see stood in front of you today if it wasn’t for the hardship and struggle? Simple answer? No. You should never be ashamed to ask for help. Take pride in knowing that your struggle will play the biggest role in your purpose. Never drop your head in shame.‘‘)

පසුගිය සැප්තැම්බර් මාසයේදී වෝග් සඟරාවේ කවරය සඳහා පෙනී සිටි රෂ්ෆෝඩ් පිළිබඳ එහි කතුවරයෙකු මෙසේ ලියා ඇත. ‘‘බලපෑම් සහගත බව, ලෝකයේ යහපත සඳහා යොදාගන්නේ කෙසේද යන්න ගැන ඔහු දිදුළන නිදසුනකි..‘‘

එදා ඩේවිඩ් බෙකම් හැඳි අංක 10 සිත්තම් වූ ටී ෂර්ටය හැඳ පිටිය වටා දුවමින් ගෝල රැස් කළත් මේ සිටින්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘මිනිස් කොලුවෙකි‘.

ලෝකයට අද ඇවැසි මෙවැනි මිනිසුන් ය. අල්පයක් මිනිසුන්ගේ සුර සැප වෙනුවෙන් අනල්පයක් දුප්පතුන් කඳුළු දහදිය හෙළන ලෝකයකි, මේ. සල්ලි ගංගාවල පිහිනුවත්, මහා මාළිගා තනාගෙන ඒවායේ පොළොව ඩොලර් පවුම් නෝට්ටුවලින් අතුරා තබා ගත්තත්- මිනිසෙකුට නිදන්නට හැක්කේ එක ඇඳක පමණි. බුදින්නට හැක්කේ එක පිඟානක පමණි. එසේ නම් කුමටද සාගරය බඳු ධන සම්භාර? එනිසා ඔහු ඒවා වරප්‍රසාදිත නොවූ අයට බෙදා දෙයි. තමන් යන මගම එන්නට ඔහු පිරිවරක් නැතිවම අනුන්ටද බලපෑම් සහගත ලෙස ඇරයුම් කර සිටියි. වයස 23 දී මේ යථාර්ථය පසක් කර ගත් මේ තරුණයා, මේ ලොවට දැකුම්කළු ආභරණයක්ම ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි