×

බංග්ලාදේශ ක්‍රිකට් නායකයා දේශපාලනයට

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක මෂ්රෆ් මොර්තාසා (Mashrafe Mortaza) ලබන මාසයේ පැවැත්වෙන බංග්ලාදේශ මහමැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත ය.


ඔහු මහ මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන්නේ පාලක අවාමි ලීගයෙනි.

කෙසේ නමුත් ඔහු පැහැදිලිවම පවසන්නේ තමන්ට තවත් ඉම්රාන් ඛාන් කෙනෙකු වීමට අවශ්‍ය නැති බවයි.

‘‘අවංකවම කියනවා නම් ඉම්රාන් ඛාන්ගේ මට්ටමට හැම කෙනෙකුටම ළඟා වන්නට බැහැ.“ AFP පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පැවසුවේය. ‘‘මගේ ආසාව තිබෙන්නේ ක්‍රීඩාවට යම් දෙයක් කරන්නටයි. මම ක්‍රීඩකයෙකු නිසා මගේ බලාපොරොත්තුව එතැනට සීමා වෙනවා.“

මෂ්රෆ් ඡන්දයට ඉදිරිපත් වන්නේ නිරිතදිග නරයිල් දිස්ත්‍රික්කයෙනි. එය ඔහුගේ උපන් ගම ද වේ. එසේම ‘නරයිල් එක්ස්ප්‍රස්‘ යනුවෙන් ඔහු එහි පුණ්‍ය කටයුතුවල යෙදෙන සංවිධානයක් ද පිහිටුවාගෙන ඇත. මේ වේග පන්දු යවන්නාගේ අන්වර්ථ නාමය වන්නේ ද නරයිල් එක්ස්ප්‍රස් ය. දිස්ත්‍රික්කයේ රෝහල්වලට ගිලන් රථ බෙදාදීම සහ ඉහළ අස්වැන්නක් ලබාදෙන බිත්තර වී ලබාදීම වැනි ක්‍රියාවන් මේ සංවිධානය හරහා ඔහු විසින් පසුගිය දිනවල සිදුකර තිබිණි.

දකුණු ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් දේශපාලනයට පිවිසීම අලුත් දෙයක් නොවේ. පාකිස්ථානයේ අගමැති ධුරයට පත් වූ ඉම්රාන් ඛාන් එ් සඳහා පවතින වඩාත්ම මෑත කාලීන උදාහරණයයි.

නමුත් ලබන මාසයේ මහමැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව තිබියදී ද මෂ්රෆ් තවමත් ක්‍රීඩා කරයි. එසේම 2019 ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශ කණ්ඩායමට නායකත්වය ලබාදෙමින් ක්‍රීඩා කිරීමට ද ඔහු අපේක්ෂා කරයි.

මෂ්රෆ් 20-20 අන්තර්ජාතික ක්‍රිකට් තරගවලින් මේ වන විට සමුගෙන ඇති අතර, 2009 වසරේදී ඔහු ටෙස්ට් තරගවලින් ද සමුගත්තේය.

දණහිසේ සැත්කම් 7ක් සමග තවමත් අධිවේගයෙන් පන්දු යවන මෂ්රෆ් හට ක්‍රිකට් ලෝලීන් තුළ තිබෙන්නේ විශාල ආදර ගෞරවයකි. මේ නිසාම ඔහු දේශපාලනයට පිවිසෙන බව අසා ඔහුගේ ක්‍රිකට් ලෝලීන් බලාපොරොත්තු කඩකරගෙන සිටින බවක් ද පෙනේ. එයින් ඇතැමෙක් සමාජ ජාලවල සටහන් කර තිබෙන්නේ ‘කුණු කාණුවක්‘ වැනි බංග්ලාදේශ දේශපාලනයට පිවිසීම සඳහා ඔහු ගත්තේ වැරදි තීරණයක් වන බවයි. එසේම සිය විරුද්ධවාදීන් සිරගත කරන, විසම්මුතිය අවියෙන් පරාජය කරන ෂේක් හසීනා වැනි අයෙකුගේ නායකත්වයෙන් යුත් පාලක අවාමි ලීගය යටතේ ඡන්දය ඉල්ලීම ද ඔවුහු විවේචනය කරති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි