×

මිනිස් පහස රහිත කොවිඩ් පාරාදීසයක පෙම් කෙළින දුර්ලභ සීල් මත්ස්‍යයෝ

ලෝකයේ දුර්ලභතම සීල් මත්ස්‍ය වර්ගයක් වන ‘මොන්ක් සීල්‘පෙර නොවූ විරූ පරිදි මිනිස් පහසින් තොර පාරාදීස වෙත සම්ප්‍රාප්ත වෙමින් සිටිති.


කොවිඩ් වසංගත නිසා ලෝකයේ බොහෝ පාරිසරික පද්ධති මිනිස් පහසින් මිදී නැවතත් නොකිළිටි වෙද්දී නැවත ඒ වෙත ඇදී එන සොබාදහමේ ආභරණ වනාහී මේ අහිංසකයන් ය.

අඩි හතේ අළුපාට හාදයෝ

ඊජියන් මුහුදේ ගල්පර යට බූවල්ලන් සැඟවී සිටියිදැයි මේ අළුපාට අඩි හතේ හාදයන් විසින් සීරුවෙන් සොයා බලනු ලැබේ. අවිනීත ජල පහර මැදින් ඉඳ හිට ජල තලය පසාරු නොකරන්නේ නම් මිස, උන් ජලය මතුපිටට පැමිණීමට ඒ හැටි රුචි නොවේ. විටෙක උන් ඉක්මනින් කලබල වන ලැබ්‍රඩෝර් රිට්‍රීවර් වර්ගයේ බලු පැටයෙක් ජලයට දැමුවාක් වැන්න. කුඩා මත්ස්‍ය රෑන් පසුපස ලුහුබඳින මේ අළුපැහැති දැවැන්තයාගේ ගමන බාල වන්නේ, ඊට වඩා බෙහෙවින් රසැති, යුෂ පිරුණු යමක් ඇස ගැටෙන්නේ නම් පමණි.

Caribbean monk seal නමැති අපේ කථානායකයා පිනිපෙඩ් වර්ගයේ සීල් මසුන් විශේෂ 33 අතරින් ලෝකයේ දුර්ලභම සීල් මත්ස්‍යෙයකු වේ. ලෝකයටම උන් සිටින්නේ 600 දෙනෙකු පමණි. ඒ නිසා ඇත්තෙන්ම ඔහු වඳ වී යමින් සිටින්නෙකි. කැරිබියානු මොන්ක් සීල් ගේ සහෝදරයා වන හවායන් මොන්ක් සීල් ද වඳ වී යමින් සිටින අතර, ලෝකයටම දහසක් පමණ සිටියි.

මත්ස්‍යෙයකු යැයි පුලපුලා කීවත් කිරි බී වැඩෙන්නෙකු හෙයින් සත්ව විද්‍යාත්මක අර්ථ දැක්වීම් අනුව නම් කිසිදු සීල් සත්වයෙකු ක්ෂීරපායියෙකු මිස මත්ස්‍යෙයකු නම් නොවන බවත් මතක තබා ගන්න!

‘මොන්ක් සීල්‘ ගේ විශේෂත්වයන් කිහිපයක් වෙයි. එකක් නම්, උන් මුළුමනින්ම බිහිරි වීමයි. අනෙක නම්, අපේ කථා නායකයා මෙන් උන්ගේ ඇතැම් විශේෂ, කලාපීය උණුසුම් සාගර තලයන්ට ප්‍රිය වීමයි. සාමාන්‍යයෙන් සීල් මසුන් ප්‍රිය කරන්නේ ශීතාධික ජලයට ය. නමුත් මොන්ක් සීල් වෙනස් ය.

කැරිබියානු මොන්ක් සීල් හට මධ්‍යධරණී මොන්ක් සීල් නමින් තවත් සහෝදරයෙකු සිටියි. නැගෙනහිර අත්ලන්තික් සාගරයේ සහ කළු මුහුදේ අතීතයේ අණසක පතුරුවාගෙන සිටි උන්, මොරිටානියා, මැඩේරා (පෘතුගීසි දූපතක් වන), ග්‍රීසිය සහ තුර්කි වෙරළතීරවල එකල දැකගත හැකි විය. නමුත් ඒ රෝමන් යුගය තෙක් පමණි. රෝමානුවෝ මස්, තෙල් සහ සම ලබාගැනීමට සීල් දඩයම ඇරඹූහ. අවසානයේ උන් ද වඳ වී යන තත්වයට පත් විය.

නමුත් ගයරෝස් නමැති ඊජියන් මුහුදේ පිහිටා තිබෙන ග්‍රීක දූපතට දැන් නැවතත් කැරිබියානු මොන්ක් සීල් සපැමිණ තිබේ. එය සැතපුම් 5 ක් පුරා දිවෙන, අඳුරු ඉතිහාසයකින් යුක්ත නිකේතනයකි. මේ දූපත සීල් අභයභූමියක් කළේ පරිසර හිතකාමීන් විසිනි.

ගයරෝස් දූපත යට මුහුදු ගුහා

දූපතට අඳුරු අතීතයක් තිබේ යැයි අප පවසන්නේ එහි පාරිසරික සෘණතාවයන් නිසා පමණක් නොවේ. ගයරෝස් දූපත අතීතයේ සිපිරි ගෙයකි. කුප්‍රකට සිරකරුවන්ගේ බන්ධනාගාරයකි. එනිසා එය ‘ප්‍රිස්න් අයිලන්ඩ්‘ ලෙස ද ප්‍රකටව තිබුණේය.

ගයරෝස් දූපත අවට මුහුදේ, මේ රාත්තල් 700 ක් බරැති දැවැන්තයන්ට සෙවණ සදන අපූරු පාරිසරික නිමැවුමක් තිබේ. ඒ නම්, ‘මුහුදු ගුහා‘වන් ය. ඒ මුහුදු ගුහාවල රිංගාගෙන මේ සීල් දැවැන්තයෝ තවත් අපූරු දෙයක් කරති. එනම් guttural barks ලෙස හඳුන්වන ශබ්ද නිකුත් කරති. විටෙක අබිරහස් මායාකාරී බවකින් යුක්ත ඒ ශබ්ද නිපදවෙන්නේ උන්ගේ බොටුවෙනි. බිහිරි නිසා නොවේ නම්, උන්ම පවා උන්ගේ හඬින් තිගැස්සී යනු ඇත!

මේ මුහුදු ගුහාවල 2017 වසර දක්වාම තිබුණේ පුපුරා නොගිය බෝම්බ, අත්හැර දැමූ මාළු දැල් යනාදියයි. එම මාළුදැල්, සීල් මසුන් වෙනුවෙන්ම තැනූ දැල් සහිත සුසානයන් වැනි ය. උහු ලෙහෙසියෙන්ම ඒවායේ පැටලෙති. පරිසර සංරක්ෂකයෝ අවසානයේ මේ දූපත මිනිස් පහසින් තොර කිරීම සඳහා හමුදා සුපරික්ෂා ක්‍රමයක් ද සකස් කළහ. සංරක්ෂණ වැඩපිළිවෙළ සඳහා පෙරමුණ ගත්තේ ලෝක වනජීවී අරමුදල (WWF) යි.

Travel Traingle

අද වන විට මොන්ක් සීල් සත්වයෝ 60 ක් පමණ මෙහි සිටිති. ලෝකයේ සියලු ජලතලයන් හි පිහිනන මොන්ක් සීල් වර්ගයේ මසුන්ගෙන් 10%ක ප්‍රමාණයකට එය සමාන ය. මේ ජයග්‍රහණයට සාපේක්ෂව දැන් මේ විශේෂය රක්ත දත්ත පොතේ දැඩි ලෙස වඳ වී යන ගණයෙන් වඳ වී යන ගණයට ද මාරු කර තිබේ.

ගයරෝස් දූපත ආශ්‍රිතව දිවි ගෙවන ග්‍රීක ධීවරයන් මේ දැවැන්තයන් ආදරයෙන් පිළිගන්නට සූදානම් ද?

‘‘අපිට සීල් දඩයම් කරන්න ඕනෙ නෑ..‘ ගයරොස් දූපතට නුදුරු සයරොස් දූපතේ කුඩා පරිමාණ ධීවර කණ්ඩායමක නායකයෙක් කියයි.

‘‘ඒත් සීල් මාළුන්ට උදව් කරන්නත් සංවිධාන ඉන්නවා. අපිට කවුද ඉන්නෙ….?“

උදා වී තිබෙන්නේ කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් සකල සාගර පද්ධතියම නීල හරිත වී ඇති සමයකි. ඔක්සිජන් මැනවින් ජලයේ දිය වී තිබේ. නමුත් එයට සාපේක්ෂව ධීවර කර්මාන්තයේ යෙදෙන්නෝ මෙසේ මුමුණමින් සිටිති..

‘‘අපි ආයෙත් කවද්ද කලින් වගේ මුහුදු යන්නෙ? මුහුදෙ මේ වෙද්දි මාළු පිරිල ඇති!‘‘



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි